මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ..නමුත් මා තේරුම් අරන් තියෙනවා රටේ ජනාධිපතිවරයා ලෙස ප්‍රධානතම කාර්යයක් මා සතුව තියෙන බව....

Anura Kumara Dissanayaka Sri Lanka President of Sri lanka
By Piyumika Sep 23, 2024 05:53 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන්නේය.

නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි..(VIDEO/PHOTO)

නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි..(VIDEO/PHOTO)

ඒ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේය. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඊ. එම්. එ.ස් බී. ඒකනායක සහභාගි විය..

එම අවස්ථාවේදී ජාතිය අමතමින් නව ජනාධිපතිවරයා මෙසේ  පැවසන ලදී .,

" අපේ රටේ ප්‍රජාතන්ත‍්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය තමයි ජනතාව විසින් තමන් පාලනය පත් කර ගැනීම සඳහා පාලකයෙක් තෝරා පත් කර ගැනීම. නමුත් මැතිවරණය ඡන්දය ප්‍රකාශයට පත් කිරීම හා පාලකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ.

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය, ඒ වගේම නීති වල යම් ශක්තිමත්භාවයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා.

ඒ නිසා මා ප්‍රථම කොට අපේ රටේ ජනතාවට දැනුවත් කරන්න කැමතියි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ ධුරකාලය ඇතුළත මාගේ උපරිම කැප කිරීම පෙන්නුම් කරන්න මම සූදානම්.

එම අප රටේ මැතිවරණයකදී බල හුවමාරුවකදී ඒ ප්‍රජාතන්ත්‍රික විදියට සිදුවූ ඉතිහාසයක් තියෙනවා. කිසිදු විටක මැතිවරණයකදී සිදුවන බලහුවමාරුවක් කිසිදු නායකයෙක් ප්‍රතික්ෂේප කොට නැහැ.

ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාවගේ ජනවරම සුහදව පිළි අර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව පිළිඅරගනිමින් එතුමාගේ කැපවීමට එතුමාගේ ආදර්ශයට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අපේ තාම ගැඹුරින් තේරුම් අරන් තියෙනවා අපිට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක්. අපේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතු ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලනය සංස්කෘතික අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අප ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්

අපේ රටේ දේශපාලකයා සහ දේශපාලනය ගැන පොදු පුරවැසියා සතු තියෙන්නේ ඉතාමත් අයහපත් අදහසක්. එය සුදුසු නැති තැනක් වගේ අදහසක් තියෙන්නේ.

ඒ නිසා අපේ පැත්තෙන් අපි උපරිම ලෙස නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවයත්, මහජනයාගේ විශ්වාසයත් ගෙන ඒම සඳහා අපගේ පාර්ශවයෙන් කළ හැකි සියල්ල කරන්න සූදානම්. ඒ වගේම අපිට ලැබෙන මේ ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයකුට පමණක් පියමන් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මා මීට පෙරත් ප්‍රකාශ කරලා තියෙනවා මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ.මා මැජික්කරුවෙක් නොවේ. මා මේ රටේ ඉපදුන සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා නොහැකියාවන් තිබෙනවා. දන්න දේවල් තිබෙනවා නොදන්න දේවල් තිබෙනවා. මගේ ප්‍රමුඛතම කාර්ය හැකියාවන් උරාගෙන දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන මේ රට මෙහෙයවීමයි.

ඒ නිසා ඒ සාමූහික මැදිහත් වීමේ පංගුකරුවෙක් කොටස්කරුවෙක් බවට පත්වීම තමයි මගේ වගකීම. සාමූහික කොටස්කරුවෙක් බවට පත්වීමට මා මැදිහත් වෙනවා.

ඒ වගේම මේ අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියන්ට වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු කරන්න මා සැමදෙනාගේම සහාය අපේක්ෂා කරනවා.

නමුත් මා තේරුම් අරන් තියෙනවා රටේ ජනාධිපතිවරයා ලෙස ප්‍රධානතම කාර්යයක් මා සතුව තියෙන බව. ඒ නිසා ක්‍රියාවෙන් භාවිතයෙන් හැම අවස්ථාවකදීම මේ රටේ පුරවැසියන්ට මම ඒත්තු ගන්වන්න මම සූදානම් මේ අභියෝගයේ පියමං කිරීම සඳහා මට පැවරී තිබෙන වැඩ කොටස නිසි පරිදි ඉටුකරන බව.

අවසාන වශයෙන් මම කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මාව ජනාධිපති ලෙස තෝරාපත් කරලා තිබෙනවා. ඒ තෝරාපත් කර ගැනීම සඳහා ජනතාව මට ඡන්දය ලබා දීලා තියෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. එනිසා අපේ ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්ය තමයි අපට සහාය නොදුන්, අපිව විශ්වාස නොකරන පුරවැසියන්ට සහාය ලබාදීම සහ විශ්වාසය ගොඩනගා ගැනීම.

ඒ කාර්ය සාර්ථකව නිමකර හැකියි කියන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඉතින් අපි මේ සියල්ල ඉදිරියේදී ප්‍රායෝගිකවත්, අත්දැකීමුත් අත්විඳින්න පුළුවන් වෙයි. ඒ සඳහා සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරනවා."

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%