අංගොඩ නොයා මානසික ගැටළු විසඳන අලුත්ම ක්‍රමය මෙන්න.

Sri Lanka
By Wayomi Feb 02, 2023 11:32 AM GMT
Wayomi

Wayomi

Report

මානසික ව්‍යාකූලත්වයට පත් පුද්ගලයන් වෙනුවෙන් අලුත් ප්‍රතිකාර ක්‍රම මෙන්ම නව පුනරුත්ථාපන වැඩපිළිවෙළක් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය ආරම්භ කර තිබෙනවා.

ඒ, එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මියගේ මූලිකත්වයෙන්.

ඒ අනුව ප්‍රතිකාර ලබා නිවෙස්වලට යන රෝගීන් වෙනුවෙන් වෛද්‍යවරයකු ඇතුළු කණ්ඩායමක් ඒ නිවෙස්වලටම යවා ඔවුන් පිළිබඳව පසුවිපරම් කිරීම එහි සුවිශේෂී වැඩසටහන් අතරින් එකක්.

වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය පවසන්නේ, එම රෝගීන්ගේ පෝෂණ තත්වය, ඖෂධ ලබාගන්නා ආකාරය සහ පෞද්ගලික ස්වස්ථතාව සම්බන්ධයෙන් මෙහිදී විධිමත් ආකාරයෙන් සොයා බැලෙන බවයි.

එමෙන්ම යම්කිසි පුද්ගලයකු සිය ස්ත්‍රී හෝ පුරුෂ භාවය හේතුකොටගෙන හිංසනයට ලක් වන්නේ නම් එය වැළැක්වීම සඳහා අවශ්‍ය උපදේශන සැපයීම මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී අදාළ නීතිමය අංශවලට යොමු කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ හිංසනය පිටුදැකීමේ ඒකකය නමින් නව ඒකකයක්ද ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව සමාජයේ පවතින මානසික ගැටලුවලට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සහයවීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන උපකාර සේවා අංකයක්ද (1926) හඳුන්වාදීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පියවර ගනු ලැබුවා.

මෙමඟින් රටේ ඕනෑම පුද්ගලයකුගේ මානසික ගැටලුවක් පූර්ව විනිශ්චයකින් තොරව මැනැවින් සොයාබලා මෙම වැඩපිළිවෙළ හරහා සහනය දෙන අතර අවශ්‍ය විටෙකදී ප්‍රජා මනෝවෛද්‍ය ජාලය හරහා අවශ්‍ය සේවා සැපයීමටත් අවශ්‍යතා අනුව අනෙකුත් ආයතන සමඟ සම්බන්ධ කරවීමටත් හැකියාව හිමි වෙනවා.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW