ගුවන් යානා ඉන්ධන සැපයුමට විප්ලවීය වෙනසක් - මුතුරාජවෙල සහ කටුනායක යා කෙරෙන අලුත්ම නළ මාර්ගයේ විස්තර
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග පද්ධතිය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කර තිබේ.
ගුවන් ඉන්ධන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ගබඩා හා සැපයුම් ධාරිතාව වැඩි කිරීම බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණු මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින් ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා වෙන් වූ කිලෝමීටර් 21ක දිගින් සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් ඉදිකරනු ලබයි .
එම නළ මාර්ගයට සම්බන්ධ මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ ඝන මීටර් 92,000ක සමස්ත ධාරිතාවකින් යුත් ජෙට් A-1 ඉන්ධන ටැංකි පහක්ද ඉදිකිරීමට නියමිතය.
එයට ඝන මීටර් 30,000 බැගින් වූ විශාල ටැංකි දෙකක්, ඝන මීටර් 15,000 බැගින් වූ මධ්‍යම ප්‍රමාණයේ ටැංකි දෙකක් සහ ඝන මීටර් 2,000ක අතිරේක ටැංකියක් ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතිය මාස 30ක කාලයකින් අවසන් කිරීමට නියමිතව තිබේ.
ඛනිජ තෙල් ගබඩා සහ යටිතල පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම විසින් මුතුරාජවෙල පර්යන්තයේ නව ගබඩා ටැංකි තුනක් ඉදිකිරීමද අද ආරම්භ කර ඇත
එම ටැංකි තුන ඉදිකිරීමෙන් පසු ඝන මීටර් 15,000 බැගින් වූ ටැංකි දෙකක් සහ ඝන මීටර් 10,000ක ටැංකියක් මඟින් ඝන මීටර් 40,000ක අමතර ගබඩා ධාරිතාවක් එක් කිරීමට නියමිතය.
මාස 18ක කොන්ත්‍රාත් කාලසීමාවකින් යුත් මෙම ව්‍යාපෘතිය 2028 අප්‍රේල් මාසයේදී අවසන් කිරීමට නියමිත අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ කර්මාන්තයේ පිළිගත් හොඳම භාවිතයන්ට අනුකූලව වැඩිදියුණු කළ ආරක්ෂාව, විශ්වාසනීයත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික වන පරිදි ටැංකි ඉදිකරනු ලබයි.
නව ගබඩා ධාරිතාව එක් කිරීමෙන් රටේ ඉන්ධන සංචිත ශක්තිමත් කිරීමටත්, මෙහෙයුම් නම්‍යශීලීභාවය වැඩි කිරීමටත්, වර්ධනය වන බලශක්ති අවශ්‍යතා සපුරාලමින් ඉන්ධන නිෂ්පාදන අඛණ්ඩව හා විශ්වාසනීයව බෙදා හැරීමටත් හැකි වනු ඇත.