මේ දඩ මුදල රු 10,000 සිට රු 100,000 දක්වා ඉහළට - සයිබර් හිරිහැරවලින් ආරක්ෂා කිරීමටත් අවශ්‍ය නීති ගේනවා - අගමැති
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ළමාවිය මුහුණ දෙන නූතන සමාජ හා තාක්ෂණික අභියෝග හමුවේ දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව, මානසික යහපැවැත්ම සහ ආත්ම විශ්වාසය තහවුරු කිරීම ඉතා වැදගත් බවත්, රජය ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දී ඇති බවත් සඳහන් කළා.
ඇය මේ බව කියා සිටියේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ ළමා දින ජාතික සැමරුම් උත්සවයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී ඊයේ(01) දින එක්වෙමින්.
මහජනතාවට ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - මේ පුද්ගලයින්ගේ චංචල හෝ නිශ්චල දේපළ තහනම් කළ හැකියි
මෙම උත්සවය “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ පැවැති අතර එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ,
“ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හරහා අධ්‍යාපනයට ලැබෙන ප්‍රයෝජන මෙන්ම, සයිබර් හිරිහැර සහ නොමඟ යවන සුළු අන්තර්ගතයන්ගෙන් දරුවන් මුහුණ දෙන පීඩනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය සහ ආරක්ෂක රාමු ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් තිබෙනවා. ඒ අනුව දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් සහ මානසික හිංසනයන් වැළැක්වීම සඳහාත්, දරුවාගේ ගෞරවය සුරක්ෂිත වන විනයානුකූල ක්‍රම ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ අපි ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම ආර්ථික සූරාකෑමෙන් දරුවන් මුදාගැනීම වෙනුවෙන් සම්මත කරන ලද 'කාන්තා, තරුණ හා දරුවන්ගේ සේවා නියුක්තිය පිළිබඳ පනත' මඟින් දරුවන් අනතුරුදායක සේවාවන්හි යෙදවීම වෙනුවෙන් පැවැති දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නංවන්න කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි, පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කර එකම ජාතික ප්‍රමිතියකට යටත් කිරීම, පෙරපාසල් ලියාපදිංචිය හා නියාමනය සඳහා විධිවිධාන සැලසීම සහ ගුරුවරුන් සඳහා අනිවාර්ය වෘත්තීය සුදුසුකම් හා පුහුණුව ලබාදීමට පියවර ගත්තා. පෙරපාසල් අවධියේදී අකුරු සහ ඉලක්කම් බලහත්කාරයෙන් ලියවීමට වඩා, ක්‍රීඩාව මඟින් සමාජ කුසලතා සහ පෞරුෂ වර්ධනය සිදුකිරීම ඉතා වැදගත්. සෑම දරුවෙකුටම භාෂා, ආගම් හෝ ප්‍රදේශ භේදයකින් තොරව ආරක්ෂිතව සහ ආත්ම විශ්වාසයෙන් ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතු බවත්, එය රජයට පමණක් තනිව කළ නොහැකි බැවින් මව්පියන්, ගුරුවරුන් සහ මුළු මහත් සමාජයම ඊට එක්ව කටයුතු කළ යුතු බවත්” අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.