හදිසියේම අධිකරණ ඇමති කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරීක්ෂණයක - “හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් කළ යුතු දේ ගැනත් සාකච්ඡාවක්”
බන්ධනාගාරගත රැඳවියන්ගේ සුබසාධන කටයුතු තවදුරටත් විධිමත් කිරීම සහ බන්ධනාගාරයක් තුළ හදිසි තත්ත්වයක් ඇති වූ විට රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ඇති කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේදී පවත්වා තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි. බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඊට මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.
එමෙන්ම බන්ධනාගාර තුළ ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන රැඳවියන්ගේ සුබසාධන පහසුකම් තවදුරටත් විධිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් රැඳවියන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කළ අමාත්‍යවරයා, කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඩකඩ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
මේ අතර, අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමටද එක්විය. විශේෂයෙන් රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී රැඳවියන් දැනුවත් කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙත්තන්ගොඩ, කෑගල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක, මේජර් ජෙනරාල් ආර්.පී.එස්.පී. රන්දුනු සහ කෑගල්ල සහකාර බන්ධනාගාර අධිකාරි වජිර එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විදුලිබල මණ්ඩලය, ගිනි නිවීමේ ඒකකය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන්ද සාකච්ඡාවට සහභාගී වී තිබේ.