ඉරාන යුද්ධයට ඩොලර් බිලියන 200ක්
ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය සඳහා අමතර අමෙරිකානු ඩොලර් බිලියන 200ක ප්රතිපාදනයක් පෙන්ටගනය විසින් කොංග්රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහතා ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී මෙම යුද්ධය අවසන් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් නොමැති බව අනතුරු අඟවා ඇත.
ඩොලර් බිලියන 200ක ඉල්ලීම සෘජුව තහවුරු නොකළද, එම අගය වෙනස් විය හැකි බවත්, "නරක මිනිසුන් මරා දැමීමට මුදල් අවශ්‍යයි" යැයි ප්‍රකාශ කළේය. "ඩොලර් බිලියන 200ක් ගැන කියනවා නම්, මම හිතන්නේ ඒ අගය වෙනස් වෙන්න පුළුවන්.
පැහැදිලිවම නරක මිනිසුන් මරා දැමීමට මුදල් අවශ්‍යයි. අපි කොංග්‍රසය වෙත යන්නේ මෙතෙක් කළ දේට සහ අනාගතයේදී අපට කිරීමට සිදුවන දේ සඳහා අවශ්‍ය නිසි ප්‍රතිපාදන ලබා ගැනීමටයි" යැයි හෙග්සෙත් මහතා සඳහන් කළේය.
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම ධවල මන්දිරය වෙත යොමු කර ඇති අතර, එය කොංග්රස් අනුමැතියෙන් පසුව ක්‍රියාත්මක වනු ඇත. මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජූලි මාසයේ බදු කපාහැරීම් පනත යටතේ දැනටමත් ලැබී ඇති අමතර අරමුදල්වලට අමතරව ඉල්ලා ඇති අතිවිශාල මුදලකි.
අල්ජසීරා, වොෂින්ටන් පෝස්ට්, ඇසෝසියේටඩ් ප්‍රෙස් ඇතුළු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම ඉල්ලීමට කොංග්රස් තුළ දේශපාලන සහයෝගය ලැබේද යන්න තවමත් අපැහැදිලි බවයි.
සමහර රිපබ්ලිකන්වරුන් පවා මෙම මුදලේ ප්‍රමාණය ගැන ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ. මෙම ඉල්ලීම ඉරාන යුද්ධයේ වියදම් ඉහළ යාම සහ ආයුධ තොග පිරවීම, අනාගත ආරක්ෂක අවශ්‍යතා සඳහා බව පෙන්වයි.