කෑම මේසයට ගේන්නේ මිනිස්සු නෙවෙයි රොබෝවරු - කරච්චියේ අමුතුම අවන්හල මෙන්න
පාකිස්තානයේ කරච්චි නුවර අවන්හලක ආහාර බෙදාහරින රොබෝවරුන් දැකබලා ගැනීම සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට පවා පාරිභෝගිකයන් පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නියොන් ආලෝකයෙන් ආලෝකමත් වූ මෙම අවන්හලේ මේස අතර ගමන් කරමින් පාරිභෝගිකයන් වෙත ආහාර රැගෙන යන්නේ 'රෝබියා' සහ 'ජෝජෝ' ලෙස නම් කර ඇති රොබෝවරුන් දෙදෙනෙකි.
පාකිස්තාන ඉංජිනේරුවෙකු වන සයිඩ් ඔසාමා අසීස් විසින් නිර්මාණය කර ඇති මෙම රොබෝවරුන් බොහෝ දුරට එරට නිෂ්පාදිත කොටස් යොදා ගනිමින් සකස් කර තිබීම විශේෂත්වයකි. ඔහු විසින් ආරම්භ කරන ලද අවන්හලේද මෙම රොබෝවරු සේවයේ යොදවා තිබේ.
මෝටර් රථ හිස්වැසුමකට සමාන හැඩයකින් යුත් සුදු පැහැති වටකුරු හිස් සහ අඳුරු මුහුණු ආවරණ සහිත මෙම රොබෝවරුන්ගේ ගෙල වටා කාන්තා දුපට්ටා ඇඳුමට සමාන කළු පැහැති රෙදි කැබැල්ලක් ද යොදා ඇත.
අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ට රොබෝවරුන් ආහාර රැගෙන පැමිණියද, ඒවා බන්දේසියෙන් තමන් විසින්ම ලබාගත යුතුය.
එසේ නොමැති නම් ඒ සඳහා අවන්හලේ සේවකයෙකුගේ සහාය ලබාගැනීමට සිදුවේ.
පාරිභෝගිකයන්ගේ විශේෂ ආකර්ෂණය මෙම රොබෝවරුන් පාරිභෝගිකයන් අතර විශාල ආකර්ෂණයක් දිනාගෙන ඇති අතර, විශේෂයෙන්ම දරුවන් ඔවුන් සමඟ ඡායාරූප ගැනීමටත් ස්පර්ශ කර බැලීමටත් උනන්දුවක් දක්වන බව වාර්තා වේ.
රොබෝවරුන් තමන්ව හඳුන්වා දීමත්, ඇණවුම් කළ හැකි ආහාර පිළිබඳ තොරතුරු පැවසීමත් පාරිභෝගිකයන්ගේ ප්‍රසාදයට හේතු වී තිබේ.
මෙම නව අත්දැකීම හේතුවෙන් අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එහි සේවකයෝ පවසති.
ඇතැම් පාරිභෝගිකයන් රොබෝවරුන් දැකගැනීම සඳහා කරච්චි නුවර දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන බව ද ඔවුහු සඳහන් කරති.
මේ අතර, අනාගතයේදී රොබෝවරුන්ගේ හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමට තමන් අපේක්ෂා කරන බව සයිඩ් ඔසාමා අසීස් පවසයි.
ඒ අනුව කැමරා සහ රූප හඳුනාගැනීමේ තාක්ෂණය එක් කිරීමෙන් පාරිභෝගිකයන් හඳුනාගැනීමටත්, ඔවුන් මීට පෙර ඇණවුම් කළ ආහාර මතක තබාගෙන වඩාත් ගැළපෙන ආහාර නිර්දේශ කිරීමටත් හැකි වන පරිදි මෙම රොබෝවරුන් වැඩිදියුණු කිරීම ඔහුගේ අරමුණ වී තිබේ.