තායිලන්තය ඇවිලෙයි - ගොඩනැගිල්ලක ඇවිලුණු ගින්නෙන් ජීවිත හානි ඉහළට
තායිලන්තයේ දකුණු දිග සංචාරක දූපතක් වන ෆුකෙට් (Phuket) හි පෝටෝං (Patong) ප්‍රදේශයේ වාණිජ ගොඩනැගිල්ලක හටගත් හදිසි ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය වාර්තා කරයි.
වැඩිදුරටත් වාර්තා කරන්නේ ආපන ශාලාවක්, කුලී නවාතැන් සහ මෝටර් බයිසිකල් කුලී සාප්පුවක් පිහිටා තිබූ මෙම ගොඩනැගිල්ලේ ගින්න හටගෙන ඇත්තේ අද (16) අලුයම 3.17 ට පමණ වන අතර, පසුව එය අවට ගොඩනැගිලි කිහිපයකටද පැතිරී ගොස් ඇති බවයි.
ෆුකෙට් පොලිසිය සඳහන් කරන්නේ ගින්න හට ගැනීමට මොහොතකට පෙර ගොඩනැගිල්ල අසල පිහිටි විදුලි පරිවර්තකයක් පිපිරී ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර, මෙය ගිනි තැබීමක් නොවන බවයි.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ කුලී සාප්පුවේ මෝටර් බයිසිකල් 100 ක් පමණ සහ ගෑස්, එන්ජින් තෙල්, ප්ලාස්ටික් ද්‍රව්‍ය හා ටයර් ගබඩා කර තිබී ඇති අතර මෙම දැවෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරී යාමට සහ ඝන, විෂ සහිත දුමාරයක් හට ගැනීමට හේතු වන්නට ඇති බවයි.