අමිතාබ් සහ අභිෂේක් බච්චන්ට මරණ තර්ජන - ගෝල්ඩි ඩිලෝන්ගෙන් බොලිවුඩයම කැළඹෙන අනතුරු ඇඟවීමක්
ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන්ට සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන්ට මැර කල්ලි සාමාජිකයෙකු වන ගෝල්ඩි ඩිලෝන් විසින් මරණ තර්ජන එල්ල කර තිබේ.
මුම්බායි නුවර අමිතාබ් බච්චන්ගේ නිවස ඉලක්ක කරගනිමින් සිදුකිරීමට සැලසුම් කළ බව කියන ප්‍රහාරය, තම කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙකු දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් නතර නොවන බවට ගෝල්ඩි ඩිලෝන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම, තම කල්ලියේ සාමාජිකයන් 200කට ආසන්න පිරිසක් මුම්බායි නුවර ක්‍රියාත්මකව සිටින බවද ඔහු එම සටහනේ සඳහන් කර තිබේ.
සික් ප්‍රජාවට එරෙහිව අදහස් පළ කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බවටද එම සටහනෙන් තර්ජනය කර ඇති අතර, අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන්ගේ නම්ද විශේෂයෙන් සඳහන් කර ඇත.

ඔවුන්ට ලබාදී ඇති ආරක්ෂක විධිවිධාන හෝ වෙඩි නොවදින ආරක්ෂිත ආවරණ පවා ප්‍රහාරයකින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නොවන බවට එහි තර්ජනය කර තිබේ.
කෙසේ වෙතත්, මෙම සමාජ මාධ්‍ය සටහනේ සත්‍යතාව සහ එහි සඳහන් කරුණු ස්වාධීනව තහවුරු කර නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම තර්ජන එල්ල වී ඇත්තේ ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවන් දෙදෙනෙකු දිල්ලි පොලිසියේ විශේෂ ඒකකය විසින් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසුවය.
ලොවම මවිත කරමින් රතු මුහුදේ තීරණාත්මක මුහුදු මාර්ගයක බලය හූතින් අතට - සෞදි සහාය ලබන යේමන හමුදා පසුබසියි
විකාස් ඨාකූර් හෙවත් විකී සහ දීපක් සිං හෙවත් දීප් ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරුවන් දෙදෙනා පන්ජාබ් ප්‍රාන්තයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කර තිබේ.
පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම සැකකරුවන් දිල්ලි නුවර ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සැලසුමකට මෙන්ම අමිතාබ් බච්චන්ගේ මුම්බායිහි පිහිටි 'ජල්සා' නිවස ඉලක්ක කරගත් බව කියන තවත් සැලසුමකටද සම්බන්ධ විය හැකි බවට සැක කෙරේ.
අදාළ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමේ කාර්යය විකාස් ඨාකූර්ට පැවරී තිබූ බවත්, ඒ සඳහා ඔහු මුම්බායි සිට දිල්ලි නුවරට පැමිණ තිබූ බවත් පොලිසිය පවසයි.
මේ අතර, පසුගිය මාසය තුළ අමිතාබ් බච්චන්ගේ 'ජල්සා' නිවසට බෝම්බ තර්ජන සහිත ඊමේල් පණිවිඩ තුනක්ද ලැබී තිබේ.
ඒ හේතුවෙන් ඔහුගේ නිවස අවට ආරක්ෂාව තර කර ඇති අතර, නොවැම්බර් 1 වැනිදා සිය නිවස ඉදිරිපිටට පැමිණෙන රසිකයන්ට සුපුරුදු පරිදි ආචාර කිරීමේදීද අමිතාබ් බච්චන් වෙඩි නොවදින වීදුරු ආවරණයක් පිටුපස සිටින අයුරු දක්නට ලැබී ඇත.
සාමාන්‍යයෙන් රසිකයන්ට වඩාත් හොඳින් දැකගත හැකි වන පරිදි රෝද සහිත වේදිකාවක් මත සිට ඔවුන්ට ආචාර කරන අමිතාබ් බච්චන්, එදින ආරක්ෂිත වීදුරු ආවරණයකින් වට කළ ස්ථානයක සිට රසිකයන්ට ආචාර කර තිබේ.