ක්‍රෙඩිට් කාඩ් ගැන මහ බැංකුවෙන් නිවේදනයක් - වියදම් කරා වගේ නෙමෙයි ණය මුදල් අහස උසට
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු පද්ධතිය තුළ භාවිත වන සක්‍රීය ණයපත් සඳහා පියවීමට ඇති මුළු හිඟ මුදල පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වන විට රුපියල් බිලියන 215.04ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 213.42ක්ව පැවති මෙම හිඟ ණය ප්‍රමාණය එක් මසක් තුළ රුපියල් බිලියන 1.65කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආසන්නතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම 2025 දෙසැම්බර් මස අවසානයේදී රුපියල් බිලියන 186.70ක් ලෙස වාර්තා වූ ක්‍රෙඩිට් කාඩ්පත් හිඟ ශේෂය හා සැසඳීමේදී, මෙම වසරේ මුල් මාස නවය තුළ පමණක් එම හිඟ මුදල රුපියල් බිලියන 25.34කින් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
ඒ අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට දිවයින තුළ ක්‍රියාත්මක වූ සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,319,794ක් (විසිතුන් ලක්ෂ දහනව දහස් හත්සිය අනූහතරක්) දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
එම කාඩ්පත් අතුරින් 2,310,968ක්ම ජාත්‍යන්තරව භාවිත කළ හැකි කාඩ්පත් වන අතර, දේශීයව පමණක් පිළිගන්නා කාඩ්පත් සංඛ්‍යාව සටහන් වූයේ 8,826ක් වශයෙනි. තවද, මෙරට මූල්‍ය පද්ධතිය තුළ ණයපත් භාවිතයේ පවතින ඉහළ නැඹුරුව තහවුරු කරමින්, පසුගිය වසරේ දෙසැම්බර් අග සිට මෙම වසරේ සැප්තැම්බර් දක්වා වූ මුල් මාස නවය තුළ අලුතින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 153,608කි.