අද සවස ගුරු - විදුහල්පතිවරු කරන්න යන දේ මෙන්න.(VIDEO)

Sri Lanka Education Principal Teachers Josap Stalin
By Aruna Oct 25, 2021 06:55 AM GMT
Aruna

Aruna

Report

ගුරු - විදුහල්පති වෘත්තීය අරගලය නව මානයකින් යුතුව අද සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

අද (25) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, අද සිට උදෑසන 7.30 සිට සවස 1.30 දක්වා දරුවන් ට ඉගැන්වීම් කටයුතු පමණක් සිදුකරන බවය.

මේ අතර, අන්තර් පළාත් සංචරණ සීමා හේතුවෙන් සහ ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි ගුරුවරු හැර සිය සංගමය නියෝජනය කරන අනෙක් සියලුම ගුරුවරු රාජකාරියට වාර්තා කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජෝසෆ් ස්ටාලින් මහතා,

"ප්‍රාථමිකව උගන්වන සියලු ගුරුවරුන් සේවයට වාර්තා කරන්න අපි තීරණය කළා. ඒ වගේම ඒ සේවයට වාර්තා කරමින් අපේ වෘත්තීය අරගලය අපි අද දින සිට නව මානයකින් ආරම්භ කරනවා.

අප අද දින සිට සියලු කටයුතු කරන්නේ, 7.30 සිට 1.30 දක්වා. ඒ වගේම අපි රජය පවරන ඉගැන්වීමට අමතර ව කිසිදු රාජකාරියක් අපි කරන්නේ නෑ. අද සිට අපි කරන්නේ ළමයින් වෙනුවෙන් ඉගැන්වීම.

භාහිර කිසිදු කාර්යයක් අපි පැහැදිලිව ම කරන්නේ නෑ.අද පස්වරුවේ අපි ලොකු උද්ඝෝෂණයක් සංවිධානය කරලා තියෙනවා."

ප්‍රවාහන පහසුකම් නොමැති ගුරුවරුන්ට ඒ සඳහා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි ඒ මහතා දරුවන්ගේ ප්‍රවාහනය සම්බන්ධයෙන් ද විධිමත් වැඩපිළිවෙලක් රජය විසින් සකස් කළ යුතු බව ද පැවසීය.

මේ අතර, පාසල් ආරම්භ කිරීමෙන් පසු වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු - විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව පැවසීමෙන් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ට සිදුව ඇත්තේ සිය තනතුර අහිමි වීම පමණක් බව ද ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.


ReeCha