ගුරු සිසුවියන්ට ලිංගික හිරිහැර.. ලකුණු අඩු කරයි කියන බියෙන් පැමිණිලි නොකළ බවට හෙළිදරව්වක් - කථිකාචාර්යවරයෙකු අත්අඩංගුවට
අම්පාර, අඩ්ඩාලයිචේනයි ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු කාන්තා ගුරු සිසුවියන්ට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වමින් ලිංගික හිරිහැර සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය මඟින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ක්‍රියාවල නිරතව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, තමන්ට අදාළ විෂයයන් සඳහා ලකුණු අඩු කිරීම හෝ අධීක්ෂණය යටතේ පවතින කටයුතුවලදී පළිගැනීම්වලට ලක්වනු ඇතැයි බියෙන් ගුරු සිසුවියන් සැකකරුට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බවයි.
කෙසේ වෙතත්, අම්පාර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා වෙත ලැබුණු තොරතුරක් මත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ ගුරු සිසුවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
සැකකරු ඊයේ (03) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
අම්පාර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දයානි ගමගේ, සහකාර පොලිස් අධිකාරී සම්පත් වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක කේ.ටී.පී. තරංග මහතා වැඩිදුර විමර්ශන සිදුකරනවා.