කොඩ්වේ සහ දික්ඔවිට ධීවර වරායවල ලක්ෂ ගණනක ඉන්ධන පාඩුවක් - විගණන කාර්යාලයෙන් හෙළිදරව්වක්
කොඩ්වේ ධීවර වරාය මඟින් නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියකගේ ධීවර යාත්‍රා සහ වාහන සඳහා ණය පදනම මත ඩීසල් ලබාදී තිබුණද, ඊට අදාළව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට ලැබිය යුතු රුපියල් ලක්ෂ දාහතරකට ආසන්න මුදල මෙතෙක් අයකරගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක ස සඳහන් වේ.
එමෙන්ම හැඳල දික්ඔවිට වරායේ උතුරු පර්යන්තයේ භූගත ඉන්ධන බට සවිකිරීමේදී සිදු වූ ඉන්ධන කාන්දුව හේතුවෙන් සිදු වූ පාඩුව ද අදාළ කොන්ත්‍රාත් ආයතනය වෙතින් අය කර ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බව එම වාර්තාවේ දැක්වේ.
අදාළ ආයතනය විසින් මෙම භූගත ඉන්ධන බට පද්ධතිය 2019 වසරේදී සවිකර තිබූ අතර, එම කාන්දුවෙන් ඉන්ධන ලීටර් 2,700 ක් පමණ නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාව මඟින් මෙම මූල්‍ය සහ භෞතික අලාභයන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.