මෙරට ජපන් මිත්‍රත්ව සංගමය සහ ජනපති ලේකම් අතර හමුවක්
මෙරට ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපති Inoue Naoki මහතා ඇතුළු එම සංගමයේ සාමාජික පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.
ඊයේ (12) පැවැති මෙම සාකච්ඡාවේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
වයඹ පළාත් සභාව වෙත මෑතකදී ගිලන් රථ තුනක් ලබාදීමට සංගමයේ මැදිහත්වීම මත කටයුතු කර ඇති බව මෙහිදී සිහිපත් කළ ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා, ඉදිරියටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සෞඛ්‍ය සහ සමාජයීය සහාය අඛණ්ඩව ලබාදීමට සංගමය කැමැත්තෙන් පසුවන බව සඳහන් කළේය.
දෙරට අතර පවතින සිරදැරූ සබඳතාව තහවුරු කරමින් ලබාදෙන මෙම නිරන්තර සහයෝගය සහ උපකාර වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සිය කෘතවේදී ඇගයීම ජපන් නියෝජිත පිරිස වෙත පළ කර සිටියේය.