මීගමුව බන්ධනාගාරය දෙවනත් කළ 'කටුවැල්ලේගම සුරේෂ්' හදිසියේම බූස්සට රැගෙන යයි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැත්තා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.
පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස හඳුන්වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු බවට සඳහන් වන මෙම පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදීම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ අලෙවිය ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇත.
එමෙන්ම, 2016 වසරේදී නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට සහ එහි සහායකයෙකුට පහරදී බැඳ දමා චෛත්‍යයකට හානි කිරීමේ සිද්ධියකටද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මේ වනවිට මීගමුව මහාධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් විභාග වෙමින් පවතින අතර, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින තවත් නඩුවකට අදාළව ඔහු බන්ධනාගාරගතව සිටී.
මීගමුව බන්ධනාගාරයේ කෙටිකාලීන සිරකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් 2,400කට අධික පිරිසක් රඳවා සිටින අතර, විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනෙකු පමණ එහි සිටි බව වාර්තා වී තිබේ.
මේ අතර, පසුගිය 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් හේතුවෙන් නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවූ 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
කෙසේ වෙතත්, අද (07) උදෑසන වනවිට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් බන්ධනාගාරය තුළ සහ අවට ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් තත්ත්වය පාලනය කර ඇති බව වාර්තා වේ.