ඔබ සතුටින්ද දුකින්ද කියලා බල්ලෝ දන්නවාලු – අලුත් අධ්‍යයනයකින් හෙළි වූ පුදුම කතාව
සුනඛයන්ට මිනිසුන්ගේ මුහුණේ ප්‍රකාශ වන විවිධ හැඟීම් හඳුනාගෙන ඒවා එකිනෙකින් වෙන්කර හඳුනාගැනීමට හැකියාව ඇති බව වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සිදු කළ නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
පර්යේෂකයන් සුනඛයන් 12 දෙනෙකුගේ මොළයේ ස්කෑන් පරීක්ෂා කරමින්, විවිධ හැඟීම් ප්‍රකාශ කරන මිනිස් මුහුණුවල ඡායාරූප ඔවුන්ට පෙන්වා ඇත. අනතුරුව යන්ත්‍ර ඉගෙනුම් තාක්ෂණය භාවිත කර එම සුනඛයන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කර තිබේ.
පර්යේෂකයන්ට අනුව, සතුටුදායක මුහුණු ප්‍රකාශ සහිත නාඳුනන පුද්ගලයන්ගේ ඡායාරූප පෙන්වූ විට, ඉහළ සංජානන ක්‍රියාකාරකම් සහ ත්‍යාග සැකසීම සමඟ සම්බන්ධ මොළයේ ප්‍රදේශ වන temporal cortex සහ caudate nucleus සක්‍රීය වී ඇත.
කෙසේ වෙතත්, කෝපය, බිය සහ දුක සහිත මුහුණු පෙන්වූ අවස්ථාවලදී එම මොළයේ ප්‍රදේශවල එවැනි සක්‍රීය වීමක් දක්නට නොලැබුණු බව අධ්‍යයනයේ සඳහන් වේ.
එහෙත් සුනඛයන්ගේ සමස්ත මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේදී, බිය, කෝපය සහ දුක අතර වෙනස හඳුනාගත හැකි විවිධ ක්‍රියාකාරී රටා පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, මිනිස් මුහුණේ ප්‍රකාශ වන විශේෂිත සෘණාත්මක හැඟීම් පවා එකිනෙකින් වෙන්කර හඳුනාගැනීමට සුනඛයන්ට හැකි බවට පළමු සාක්ෂි මෙයින් ලැබී ඇති බව පර්යේෂකයෝ පවසති.
අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන ලෝරා කුයා සඳහන් කළේ, මිනිසුන් සමඟ පරිණාමය වෙමින් පැමිණි සුනඛයන් අපගේ මුහුණේ ප්‍රකාශන අවබෝධ කරගැනීමට සහ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකියාව වර්ධනය කරගෙන ඇති බවයි.
මිනිසුන්ගේ හැඟීම් සුනඛයන් හඳුනාගන්නා ආකාරය පිළිබඳ අවබෝධය, ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමේදී සහ ඔවුන් රැකබලා ගැනීමේදී වැදගත් විය හැකි බවද ඇය පෙන්වා දී තිබේ.
ඉදිරි පර්යේෂණවලදී මිනිස් ශරීර භාෂාව, කටහඬේ සියුම් වෙනස්කම් සහ සුවඳ වැනි වෙනත් සංඥා සුනඛයන් එකට සම්බන්ධ කරගෙන මිනිසුන් තේරුම් ගන්නේ කෙසේද යන්න සොයා බැලීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙති.
එමෙන්ම එකම චිත්තවේගීය සංඥා මිනිස් සහ සුනඛ මොළය මගින් සැකසෙන ආකාරය සංසන්දනය කිරීමටද ඔවුන් අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, අධ්‍යයනයට සහභාගී වූ සියලුම සුනඛයන් ආදරණීය පවුල් පරිසරයක ඇතිදැඩි වූ සුරතල් සුනඛයන් බව පර්යේෂකයන් සඳහන් කර තිබේ.
එබැවින් එවැනි පරිසරයකින් බැහැරව ඇතිදැඩි වන සුනඛයන් මිනිස් හැඟීම්වලට වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දැක්විය හැකි බවටද ඔවුහු අනතුරු අඟවති.