වෘත්තියේ සාධාරණය වෙනුවෙන් අවසන් හුස්ම හෙලූ ගුරුවරියකගේ කඳුළු කතාව....(VIDEO)

By Sewvandhi Nov 10, 2021 04:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මාස ගණනක් තිස්සේ තවමත් ස්ථිර විසඳුමක් නොලැබුණු ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරුවරු සහ විදුහල්පතිවරු තවමත් සටන් කරමින් සිටිති. රාජකාරී කටයුතුවල නිරත වන අතරවාරයේදී ම ඔවුන්ට සිය අරගලය ද ඉදිරියට ගෙන යා යුතුව තිබේ. කායික සහ මානසික පීඩා මොහොතකට අමතක කර ඔවුහු තමන්ගේ වෘත්තියට සාධාරණත්වය ඉල්ලා සටන් කරති.

එලෙස තම රෝගී තත්ත්වය ද නොතකා සමස්ත ගුරු-විදුහල්පති ප්‍රජාවගේ අයිතීන් සහ දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු වීර ගුරුවරියක පිළිබඳ ඛේදනීය කතාවක් දෙණියාය, කොටපොළ ප්‍රදේශයෙන් වාර්තා විය. ඇය නමින් වරුණි අසංකා ය. දැඩි හදවත් රෝගයකින් පීඩා වින්ද ද එය නොතකා දීප ව්‍යාප්තව සිදු කරන ගුරු විරෝධතාවට සමගාමීව දෙණියාය, කොටපොළ ඊයේ (නොවැ.9) පැවති විරෝධතාවට ඇය සහභාගී වී තිබුණේ හිතේ තිබූ වීරිය නිසා ම ය.

කෙසේ වෙතත්, විරෝධතාව අතරතුර 27 හැවිරිදි වරුණි, හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් එම ස්ථානයේදී ම ඇද වැටී මිය ගොස් තිබිණි. වරුණි පදිංචිව සිටියේ දෙණියාය, මිරිස්වත්ත ප්‍රදේශයේ ය. පාසල් වේලාවෙන් පසු මෙම ගුරු විරෝධතාව සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට සහභාගි වී සිටි වරුණි හදිසියේ ම බිම ඇද වැටී ඇත. පසුව සෙසු ගුරුවරුන් ඇයව දෙණියාය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

ඇයගේ මෘත දේහය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කොට ඇති අතර මරණයට හේතුව හෘදයාබාධයක් බව තහවුරුව ඇත. වරුණිගේ හදසි අභාවය පිළිබඳව සමස්ත ගුරු-විදුහල්පති ප්‍රජාව ම කම්පනයට පත්ව සිටී. ගුරු-විදුහල්පති අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ වරුණි පිළිබඳව අතොරක් නැතිව ශෝක ප්‍රකාශ ලියැවෙන්නේ ද ඒ නිසා ය.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ වරුණිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබිණි. ඔහු එහි සඳහන් කර තිබූණේ, දැඩි හදවත් රෝගයකින් පීඩා වින්ද ද ගුරු-විදුහල්පති අරගලය මෙන් ම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ඇය අත් නොහළ බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha