ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්..
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
“ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය”
මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (15) පෙරවරුවේ සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය. එහිදී, අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර බෙදුම්වාදයට හිස එසවීමට කිසිඳු ඉඩක් නැති බව අවධාරණය කළ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු අනියත බියක් ඇති කරගත යුතු නැති බව පැවසීය.
රාජ්‍ය බුද්ධි අංශය සහ සෙසු බුද්ධි අංශ අද එකම ශක්තිමත් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවද කමල් ගුණරත්න මහතා සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් නිදහස සහ රටේ ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය සමග උඩුයටිකුරු වූ බවය.
පසුගිය පාලන සමයේ එම පරීක්ෂණ විධිමත්ව සිදු නොවූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා පීඩාවට පත්වූ අහිංසක පවුල්වලට සාධාරණය ඉටුකිරීමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
මිල්ටරීකරණයකට රට ගෙන යනවාද යන්න පිළිබඳ වූ පැනයට පිළිතුරු දුන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ තනතුරු දැරීම කිසිසේත් මිල්ටරීකරණයක් නොවන අතර විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකු වසර ගණනාවක තම දැනුම සහ අත්දැකීම් භාවිත කර රටට සහ ජනතාවට සේවය කිරීම වරදක් වන්නේ කෙසේ දැයි විමසා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |