ගෘහස්ථ ගෑස් පරීක්ෂාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට - ගත් ක්‍රියාමාර්ග මෙන්න..

By Sewvandhi Dec 04, 2021 04:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෘහස්ථ එල් පී ගෑස් හා එහි උපාංග පිළිබඳ ප්‍රමිතිය පරික්ෂා කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමට කටයුතු සිදු කරමින් පවතින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඊට අදාළ ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආනයන පාලකගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි. මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට තීරණය කෙරුණා.

ගෑස් කාන්දු සිදුවීම් පිළිබඳ සොයාබැලීමට සාම්පල් පරීක්ෂාවක්ද සිදු කළ අතර, ඒ පිළිබඳ මොරටුව සරසවියේ විද්‍යාඥයන්ගේ වාර්තාව බලධාරීන් වෙත භාර දී තිබෙනවා. ගෘහස්ථ එල්.පී. ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංඝටකවල අනුපාතයන් වෙනස් කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් මෙලෙස ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවීමටයි පියවර ගැනුණේ, ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට අවශ්‍ය එතිල් මර්කැප්ටන් රසායනිකය නියමිත පරිදි අඩංගු නොවීම හේතුවක් ලෙස සඳහන් කරමින්.

මේ අතර, දෛනිකව ගෑස් භාවිත කරන ජනතාව සහ හෝටල් ව්‍යාපාරිකයින් පවසන්නේ ගෑස් බෙදා හැරීම සහ අලෙවිය අත්හිටුවීමට ගෙන ඇති තීරණය නිසා ගැටලුකාරි තත්ත්වයක් මතු වී ඇති බවයි.

මේ අතර ,වයිනට පැමිණි ලාෆ් ගෑස් සමාගමට අයත් නෞකාවක ගෑස් සිලින්ඩරවල තත්ත්වයන් පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරීය පියවර ගෙන තිබේ. ඊයේ (03) රාත්‍රී 9.30ට පමණ පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නෞකාව වෙත ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව එම අධිකාරීය සඳහන් කළේය.

ඒ අනුව මෙහි සාම්පල පාරිභෝගික අධිකාරීයේ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරෙන බව ද ඔවුන් සඳහන් කළේය. ගෑස් සම්බන්ධයෙන් මේ වන විට දැඩි ගැටලුකාරී වාතාවරණයක් මතුව ඇති අතර දිවයිනට රැගෙන එනු ලබන සියලුම ගෑස් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් නෞකාවකින් ලබාගත් ගෑස් සාම්පල පරීක්ෂා කිරීම් කටයුතු තවදුරටත් සිදුකරන බව පාරිභෝගික අධිකාරිය පවසයි. මෙහි පරීක්ෂණ කටයුතු ප්‍රතීතන මණ්ඩලය මගින් ද සිදුකරන බව සඳහන් වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW