සංචාරක ව්‍යාපාරය ගැන ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්....?

srilanka politics presanna renatunga
By Nimal Sep 05, 2021 05:38 AM GMT
Nimal

Nimal

Report

 සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ රුසියාව හා යුක්රේනය සමග සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම රටවලදී සංවිධානය කර තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග සංචාරක ව්‍යාපාරය නැංවීමේ සැලසුම් අත්හිටුවීමට සෑම රටක්ම පියවර ගෙන තිබුණි. මේ වනවිට සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට එම රටවල් කටයුතු කරමින් තිබේ. ඒ අනුව රුසියානු මාධ්‍යවේදීන් හා සංචාරක සංවිධාන ආයතන නියෝජිතයින් අතරත්, ශ්‍රී ලංකාවේ සංචාරක සංවිධානය නියෝජිතයින් අතරත් සාකච්ඡාවක් එළඹෙන 6 වෙනිදා රුසියාවේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බව සංචාරකයින්ට පෙන්වා දීම සඳහා මෙරට සංචාරක ස්ථානවල ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් ද එහි දී පැවැත්වේ. මෙවැනිම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් යුක්රේනයේ දී ද ක්‍රියාත්මක කෙරේ. මෙම රටවල සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානීන්ට හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර එහිදී විශේෂ සාකච්ඡා වාර කීපයක්ම සංවිධානය කර තිබේ. ඉකුත් කාලයේ සංචාරකයින්ගේ පැමිණීම අනුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් 10 අතරට රුසියාව සහ යුක්රේනය ඇතුළත් වේ.

වසංගත අවස්ථාවේ මෙරට සංචාරක නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලේත් යුක්‍රේනය හා කසකස්තානය සමගයි. ඒ අනුව ඉකුත් කාලයේ සංචාරකයින් 24320ක් මෙරටට පැමිණ ඇත. ඒ අය අතරෙන් සංචාරකයින් 250 කට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී, ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. ආසාදිතයන් බවට තහවුරු වූ අයගෙන් 150ක් ප්‍රතිකාර සදහා යොමු කිරීමෙන් අනතුරුව, සම්පූර්ණ සුවය ලබා නැවතත් සිය මව්බිම් බලා පිටත්ව ගොස් තිබේ. ආසාදිත බව තහවුරු වූ තවත් සංචාරකයින් 100ක් මේ වන විටත් මෙරට ප්‍රතිකාර ලබයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා රුසියාව සහ යුක්රේනය දක්වන සහාය අගය කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ආරක්ෂිත සංචාරක ක්‍රමවේද කෙරෙහි එම රටවල වැඩි අවධානයක් යොමුව ඇති බවයි. වසංගත තත්ත්වය යටතේ සංචාරකයින්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද, ආගන්තුක සත්කාර, දැක්වීම අතින් ශ්‍රී ලංකා වඩාත් ඉදිරියෙන් සිටින බව පහුගිය කාලයේ මෙරට සංචාරය කළ පිරිස් සඳහන් කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට විදෙස් රටවල් දැඩි උත්සාහයක් දරන අවස්ථාවක ශ්‍රී ලංකාව සෑම අතින්ම ආරක්ෂක රටක් ලෙස සැලකීම මෙරට සංචාරක ව්‍යාපාරයට සුබදායි බලාපොරොත්තුවක් ගෙන එන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now