වගකීම භාරගෙන ඉවත් වන්න.. කාදිනල් හිමිගෙන් ජනපතිට සැර ප්‍රකාශයක්.. (VIDEO UPDATE)

By Sithumi Jul 05, 2022 12:17 PM GMT
Sithumi

Sithumi

Report

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ මාතෘ භූමිය මින් පෙර කිසි කලකත් නොවූ ආර්ථික බංකොලොත්භාවයට පත් වීම නිසා ජනතාවට අපමණ දුක් පීඩා විඳීමට සිදුව ඇති බවයි. මේ තත්ත්වය තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ අද අප රට පත් වී ඇති උග්‍ර අර්බුදකාරී, අසහනකාරී, තත්ත්වයට ජනාධිපතිවරයා සහ රජය පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ගන්නා ලද අදුරදර්ශී අත්තනෝමතික තීරණ සෘජුවම බල පෑ බව පිළිගත යුතු බවයි. ජනතා මුදල් සහ රටේ දේපළ දූෂිත සහ වංචා සහගත ලෙස කොල්ල කමින්, ජනතාව සූරා කමින්, ගෙන ගිය මුරණ්ඩු සහ මර්දනකාරී, වැඩ පිළිවෙල මුල සිටම පිළිකුලෙන් යුතුව හෙළා දුටු අතර මේ වන තුරුත් එම දූෂණ සහ වංචා පිළිබඳ විනිවිද භාවයකින් සිදු වූ කිසිදු විමර්ශනයක් හෝ වරදකරුවන්ට දඬුවම් දීමක් සිදු වී නොමැති වීමත් බරපතළ කනගාටුදා‍යක තත්ත්වයක් බවත් එම නිවේදනයේ සඳහන්.

එබැවින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටින්නේ රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා සහ රජයට තවදුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බැවින් රට වැටී ඇති මෙම ඛේදනීය තත්ත්වයට වගකීම භාර ගෙන තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර තම තනතුරු වලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර දෙන ලෙසයි

. ඒ අනුව ජනතාව පතන සම්පූර්ණ ව්‍යූහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයකින් සහ විනිවිද බවකින් යුතුව සිදු කර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගැනීමට ඒ හරහා පසුබිම සැලසෙන බවත් එම නිවේදනයේ සඳහන්. (අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහලින්)


එමෙන්ම උන්වහන්සේ මේ පිළිබඳව ප්‍රකාශයක් ද නිකුත් කර සිටියා එම ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now

Gallery
ReeCha