නකල්ස් කළඹමින් අබිරහස් මරණයක් - සිකුරාදා සිට අතුරුදන් වූ තරුණයාගේ සිරුර පුංචි ලෝකාන්තය මැදදී හමුවෙයි
නකල්ස් රක්ෂිතයේ පිහිටි පුංචි ලෝකාන්තයෙන් පහළට ඇදවැටීමෙන් අතුරුදන් වූ 27 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න, කන්දේගම්මැද්ද, ලුනුකැටියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංහොටී ගෙදර සෙනිත් කවීෂ අරුණ කුමාර නම් තරුණයෙක්.
ඉකුත් සිකුරාදා (11) සිට නිවසින් අතුරුදන්ව සිටි මෙම තරුණයා පිළිබඳව පවුලේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව සෙවීම් අරඹා ඇති අතර පසුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී තරුණයාගේ ජංගම දුරකථන කුලුනු දත්ත (Tower Data) ඔස්සේ තොරතුරු අනාවරණය කරගනිමින් ක්‍රියාත්මක කළ සෙවුම් මෙහෙයුමකදී නකල්ස් පුංචි ලෝකාන්තයේ මැද කොටසේ තිබී ඔහුගේ සිරුර සොයාගෙන ඇත.
එම මළසිරුර කන්දේ මැද ප්‍රදේශයේ සිරවී තිබීම හේතුවෙන් එය පහළට ගෙනයාම දැඩි දුෂ්කර කටයුත්තක් වී ඇත.
එබැවින් ඒ සඳහා උඩදුම්බර පොලීසිය විසින් යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සහාය ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම අනතුරකින් සිදු වූවක්ද නැතහොත් දිවි හානිකර ගැනීමක්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.