විරෝධතාවය අතරතුර මියගිය අපේක්ෂකයාගේ අවසන් කටයුතු හෙට

By Sithumi Feb 28, 2023 03:42 PM GMT
Sithumi

Sithumi

Report

ජාතික ජන බලවේගය කොළඹ පැවැත්වූ විරෝධතාවට එල්ලවූ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු රෝහල්ගත කර සිටියදී මිය ගිය එම පක්ෂයේ අපේක්ෂකයාගේ මරණයට හේතුව අනාවරණය කරගැනීම සඳහා අවශ්‍ය ශරීර කොටස් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් අද (28) ලබාගනු ලැබුවා. 

 අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදුන් අතර ඔහුගේ අවසන් කටයුතු හෙට නිවිතිගලදී සිදුකිරීමට නියමිත අතර විරෝධතාවට එක්වූ අයෙක් පැවසුවේ මිය ගිය පුද්ගලයා විරෝධතාවෙන් අනතුරුව නැවතත් තමන් පැමිණි බස් රථය දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී රෝගාතුර වූ බවයි 

  පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි බල කරමින් ජාතික ජන බලවේගය කොළඹදී ඉරිදා පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. එම අවස්ථාවේ රෝහල්ගත කෙරුණු 61 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ මිය ගොස් තිබුණු අතර රෝහල්ගත කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඔහුට ඉරිදා රාත්‍රියේම හෘද සැත්කමක්ද සිදුකළ බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිවිතිගල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් අපේක්ෂයෙකු ලෙස නාමයෝජනා භාරදී තිබූ නිමල් අමරසිරි මහතායි මෙලෙස මියගොස් තිබුණේ. අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදුකරනු ලැබුවේ මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින්. 

එමෙන්ම සිද්ධිය වූ දිනයේ පොලීසිය භාවිත කළ කඳුළු ගෑස්වල විස්තර සහ සාම්පල ද ලබාදෙන්නැයි පොලිසියට දැනුම් දී ඇති අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා, මරණය පිළිබඳ සිය අවසන් තීරණය එම පරීක්ෂණවලින් අනතුරුව ඉදිරියේදී ලබාදෙන බව දැනුම්දී තිබෙනවා. මේ අතර ‍සාමකාමී රැස්වීම්වලට සහ විරෝධතාවලට බලය යෙදවීමේදී සංයමයකින් කටයුතු කිරීම පොලීසියේ යුතුකම බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා. 

 මෙම විරෝධතාවය තුළ වාර්තා වී ඇති මරණය ඇතුළුව මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබද ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදුකළ යුතු බවත් වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට පමුණුවන ලෙසත් එම සංවිධානය වැඩිදුරටත් පෙන්වාදී දුන්නා.