රටට අත්වු ඉරණම ගැන ඇමතිවරයෙක් කරුණු පහදයි......
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා වසර 70ක් පිරීම නිමිත්තෙන් රුධීර පරිත්‍යාගශිලින් 10,000ක් මගින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරනු ලැබීය.
ඒ අනුව එහි පළමු වැඩ සටහන ඊයේ (04) හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න මහා විද්‍යාලයේ දී ආරම්භ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් රුධීරය පරිත්‍යාග කිරීමට ඊට එක්ව සිටියහ.
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යමය උපදෙස් ක්‍රියාත්මක කරමින් මෙම රුධිරය පරිත්‍යාගය කිරීමේ වැඩ සටහන පැවැත් වූ අතර එහි කටයුතු පරිසර අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය.
ඊට සහභාගි වු අමාත්‍යවරයා රුධිරය පරිත්‍යාග කළ සියලු දෙනා සඳහා හුස්ම දෙන තුරු රුක්රෝපණ වැඩ සටහන වෙනුවෙන් තම ගෙවතුවල රෝපණය සඳහා පැළයක් බැගින් ප්‍රදානය කළේය. මෙහිදී මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් වසර 70ක් සපිරුණු පක්ෂයක්. දේශපාලනයේ වසර 70ක් කියන්නේ සුළුපටු කාලයක් නොවෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ තවමත් මේ රටේ බහුතරයක් ජනතාවගේ ගරු බුහුමනට පත් වූ පක්ෂයක්.සමහර අකලට පැහුණු කළටි දේශපාලකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කළත් අපේ පක්ෂය තරම් රටට ගෞරවණීය දේශපාලන නායකයින් බිහි කළ වෙනත් පක්ෂයක් නැහැ. දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගෙන් ඇවෑමෙන් මෙම පක්ෂයේ නායකත්වය පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණීය වැනි ලෝක නායකයින් හා සැසඳිය හැකි චරිතයක් අප රටෙන් බිහි කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
අද අපි රටක් වශයෙන් මුළු ලෝකයටම ණය වෙලා. මේ ණය බරින් මිරිකුණු රටක් වීමට අඩිතාලම වැටුනේ 77න් පස්සේ. නමුත් අපේ රටට උදාවන මෙම තත්ත්වය කල් තියා දුටු දූර දර්ශි නායිකාව තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණීය. එදා එතුමිය 70-77 කාලය තුළ ආරම්භ කළ දේශීය ආර්ථිකය සංවර්ධනය තුළින් රට ගොඩනැගීමේ වැඩ පිළීවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වුනා නම් වර්තමානයේ ආසියාවේ දියුණුම රට ශ්‍රී ලංකාවයි.
ඒක අද කවුරු වුවත් අවිවාදයෙන් පිළිගන්නා කාරණයක්. Made in Sri Lanka නාමය එදා ලෝකයට හඳුන්වා දුන්නේ එතුමියයි. කැළණියේ ටයර්, ඔරුවල වානේ, පුල්මුඩේ ඛනිජවැලි එදා මුළු ලෝක වෙළෙඳ පොළම ආක්‍රමණය කළා. 77 දී එතුමිය ජේ . ආර්. ජයවර්ධනට බාර දුන්නේ ශත පහක්වත් ණය නැති රටක්. නමුත් එක්සත් ජාතික පක්ෂය අපේ දේශීය ආර්ථික නංවාලීමේ වැඩ පිළිවෙළ විනාශ කළා. අපේ රට තුළ නිෂ්පාදනය කළ හැකි, වගා කළ හැකි සියල්ලම පිටරටින් ආනයනය කරන්නට පුරුදු කළා. රටේ මිනිස්සු නිකම් ඉඳගෙන කන මිනිසුන් පිරිසක් බවට පත් කළා. අද අපි මේ විඳවන්නේ එහි ප්‍රතිපලයයි.
අද මේ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක මුළු ලෝකයේම ජාතික නිෂ්පාදනය අඩාල වෙලා. ඒ නිසා ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන කම් අපි බලාගෙන ඉන්න සිදුවෙලා. නමුත් ඒ රටවල් තම නිෂ්පාදන පිටට අලෙවි නොකලොත් මොකද වෙන්නේ. මේ තත්ත්වය එදා අපේ පක්ෂයේ නායකයෝ දැක්කා. නමුත් දැන් වුනත් අපි අපේ ආර්ථීකය දේශීය නිෂ්පාදනයන්ට මුල්තැන දෙමින් ආරම්භ නොකළොත් අනාගතයේ දී අපිට සිදුවන දේ සිතාගන්නටවත් බැරි වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවුරුදු 70ක් සපිරීම නිමිත්තෙන් අපි විශේෂ සමරු වැඩසටහන් ක්‍රියාත්මක කළේ නැහැ. මේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා. නමුත් දැඩි සත්කාරක ඒකකවල රුධීරය හිඟයක් ඇති බව වාර්තා වුනා.
ඒ නිසා අපි මෙම රුධීර දානය කිරීමේ වැඩ සටහන ආරම්භ කළා. අද ආරම්භ වන්නේ එහි පළමු වැඩ සටහනයි. දෙවන වැඩ සටහන හෙට (05) ලුනුගම්වෙහෙරේ දී ආරම්භ වෙනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |