කාබනික පොහොර සටන ජය ගන්න රජය සුදානම්..

 කාබනික පොහොර සටන ජනතාව සමඟ එකතුව ජය ගැනීමට රජය සුදානම් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මහරගම පතිරගොඩ ජයගත් මාවතේ ප්‍රජා ශාලා භූමියේදී කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එක්වෙමින් ඊයේ (21) පෙරවරුවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ,කාබනික පොහොරවලට හුරුව තිබු ශ්‍රී ලංකාවේ ගොවිබිමි නැවත කාබනික පොහොර යොදා වගා කිරීමට රජය කටයුතු කිරීම වස විස නැති ආහාර ප්‍රචලිත කිරීමටද ඉවහල් වන බවය."ලෝකයේ බොහෝ රටවල් කාබනික පොහෝර භාවිතා කරමින් කෘෂිකාර්මික කටයුතු කරන්න පෙළඹී සිටිනවා.

චීනය, ඇමරිකාව වැනි ප්‍රබල රටවල් පවා හරිත විප්ලවය ජයග්‍රහණය කරවන්න ප්‍රතිඥා දී තිබෙනවා. ඒ අනුව යමින් තමයි අපේ රජයත් මේ වැඩ පිළිවෙල දියත් කරල තිබෙන්නෙ. කාබනික පොහොර භාවිතා කර ගොවිතැන් කිරීමේ තීරණය රජය හදිසියේ කලබලයෙන් ගත් තීරණයක් නොවෙයි. අනෙක මේ තීරණය රජයේ පොදු ප්‍රතිපත්ති තීරණයක් විදියට ප්‍රකාශයට පත් කළේ ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති ජයග්‍රහණය කරන්නත් පෙර සිටමයි. රසායනික පොහොර භාවිතය අතහැර කාබනික පොහොර භාවිතයට ගොවියා හුරුකරවීම තාවකාලිකව ගොවියාට යම් පාඩුවක් හා අපහසුතාවක් ඇති කරන සිද්ධියක් වුනත් දීර්ඝකාලීනව එය ගොවියාට මෙන්ම සමස්ථ ජනතාවටම යහපත් වාසාදායක තත්ත්වයක් ඇති කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ විනිමය අඩු වීම නිසා රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බවට විවිධ කණ්ඩායම් රජයට චෝදනා එල්ල කළත් කොවිඩ් වසංගතය සාර්ථකව මර්දනය කරමින් රජය ජාත්‍යන්තරය සමඟ රටේ ආර්ථිකය නැවත ගොඩ නගමින් සිටින බවද සඳහන් කළේය. සාම්ප්‍රදායික කර්මාන්තවලට අමතරව නව යුගයට ගැලපෙන තරුණ ආකර්ෂණය දිනාගත් නව නිෂ්පාදන අපනයනය කිරීමටද රජය අවධානය යොමු කර ඒ අනුව කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය ගුණවර්ධන මෙහිදී සඳහන් කළේය.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තීබු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් මේ රජය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය නැවත වතාවක් තහවුරු කරන්නට හැකි වූ බවද හෙතෙම සඳහන් කෙළේය. ආණ්ඩුව ඇතුලේ අර්බුද තිබෙන බව පෙන්වීමට විපක්ෂය උත්සහ කළත් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු දෙන්නෙක් ඡන්දය පාවිච්චි කිරීමෙන් පෙනෙන්නෙ ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂය ඇතුලේ අර්බුද තිබෙන බව යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.