ලංකාවටම 5G එනකල් බලන් හිටපු අයට නලින්ද දුන්න උත්තරේ
ශ්‍රී ලංකාවේ 5G තාක්ෂණය වෙත ප්‍රවේශ විය හැක්කේ 4G ජාල යටිතල පහසුකම්වල වැඩිදියුණු කිරීමක් (Upgrade) වශයෙන් පමණක් බවත්, එබැවින් රට පුරා සන්නිවේදන කුලුනු 10,000ක් ඉදිකිරීමේ වසර තුනක ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
එසේම ලෝකය 5G තාක්ෂණය කරා ගමන් කරද්දී ශ්‍රී ලංකාව තුළ 4G කුලුනු ඉදිකිරීම පිළිබඳ විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව නඟන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සෘජුවම 5G තාක්ෂණය වෙත යාමට නොහැකි බවත්, 5G සඳහා පදනම වැටෙන්නේ 4G ජාලය ශක්තිමත් වීම මත බවත්ය. එමෙන්ම ඉදිරියේදී 5G සබඳතාව ලබා දීමේදී මීටත් වඩා කුලුනු සංඛ්‍යාවක් අවශ්‍ය වන බවත් ඔහු පෙන්වා දෙයි.
එම ව්‍යාපෘතිය යටතේ මේ වන විට කුලුනු 573ක් ඉදිකිරීමට අදාළ ස්ථාන හඳුනාගෙන කටයුතු ආරම්භ කර තිබෙන බව අමාත්‍යවරයා හෙළි කළා. තවද අමාත්‍යවරයා කියා සිටියේ මෙම එක් සන්නිවේදන කුලුනක් ඉදිකිරීමට සාමාන්‍යයෙන් රුපියල් මිලියන 35ක මුදලක් සහ විදුලි සැපයුම ලබා ගැනීමට තවත් මිලියන 5ක් ඇතුළුව රුපියල් මිලියන 40ක පමණ මුදලක් වැය වන බවයි.
එමෙන්ම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් දැනටමත් රජය රුපියල් බිලියන 9ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු තහවුරු කළා.
මේ අතර කුලුනු ඉදිකිරීම ප්‍රමාද වන බවට එල්ල වන චෝදනා පිළිබඳ කරුණු දැක්වූ අමාත්‍යවරයා, කුලුනක් ඉදිකිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආයතන 17කින් අනිවාර්ය අනුමැතිය ලබා ගැනීමට සිදුවන බැවින් යම් කාලයක් ගතවන බව ප්‍රකාශ කළා. එසේම අදාළ දුරකථන සේවා සපයන සමාගම් ඔස්සේ මෙම කුලුනු ඉදිකිරීම සිදුකරන අතර, ඒ වෙනුවෙන් වැයවන මුදල් රජය මඟින් ප්‍රතිපූර්ණය කරනු ලබන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියා.