සලේ දින 100ට වැඩිය ජාතික රෝහලේ - ලබන 28 ගන්න යන තීරණය - දුන්නේ නැති මුරපදත් ගන්න හැටි අධිකරණයට කියයි
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රඳවා ප්‍රශ්න කෙරෙන, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා හැරීම සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලය රැස්වීමෙන් පසුව තීරණයක් ගන්නා බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද (22) දින දැනුම් දුන් බව සඳහන්.
එසේම පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ නඩුවට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව පැවසූ බව වාර්තා වේ.
අධිකරණ නියෝග ප්‍රකාරව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් අධිකාරී අද (22) දින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුට ලැබී තිබූ නොතීසියක් මතයි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත්තේ, සැකකරු දින 100ක් ඉක්මවමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
එමෙන්ම විමර්ශනවලට බාධා කරමින් කුමන්ත්‍රණකාරී ආකාරයට රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරු වහාම ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලය කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවත්, එළඹෙන 28 වනවිට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි වනු ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත.
ඊට අමතරව මෙම විමර්ශනයට අඳාළව මෙතෙක් සැකකාර සුරේෂ් සලේ විසින් ලබා නොදුන් ඔහුගේ ලැප්ටොප් (laptop) පරිගණකයේ මුරපදය වෙනත් මාර්ගයකින් ලබාගන්නා බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා සිටි බව වාර්තා වේ.