IMF සහය ලබා ගැනීම සදහා ලැබෙන නවතම සහය
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සහය ලබා දෙන බවට විදේශ තානාපතිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වූහ.
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද (22) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තානාපතිවරුන්ගේ සංසදය සහ IMF වැඩසටහනේ දී ය. රටවල් 23 ක තානාපතිවරු, පැරිස් සමාජ ශාලාවේ සාමාජිකයන් සහ සාමාජිකයන් නොවන දෙපිරිසම මෙම සංසදයට සහභාගී වූහ.
මෙම තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒමට හැකිවනු ඇතැයි විදෙස් තානාපතිවරු විශ්වාසය පළ කළහ. රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම රජයේ අපේක්ෂාව බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික විය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කළහ. අනාගත පරපුරට යහපත් අනාගතයක් උදාකරදීම සඳහා රටට මුහුණදීමට සිදුවූ අභියෝගයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සෑම විටම විනිවිදභාවය සහ සමාන සැලකීම සහතික කර පවත්වාගෙන යන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
