රෝහල්වල මෘත දේහ ගැන සෞඛ්‍ය ඇමතිවරයාගෙන් විශේෂ නිවේදනයක් ...

srilanka health keheliya rabukwella
By Nimal Sep 03, 2021 11:48 AM GMT
Nimal

Nimal

Report


දිවයිනේ ඇතැම් රෝහල්හි කලක සිට ගොඩගැසී ඇති හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්ත්වය සොයා බලා එම මෘත දේහ ඉතා ඉක්මනින් රෝහල් වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.

අධිකරණමය ක්‍රියාමාර්ග මෙන්ම විවිධ හේතු නිසාවෙන් සමහර මෘත ශරීර ඇතැම් රෝහල් වලින් නිදහස් කිරීමට නොහැකි වී ඇති අතර,ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකරමින් ඒවා කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් වූ කරුණූ මත අමාත්‍යවරයා මේ පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුණි. කලක සිට ගොඩගැසී තිබූ මෘත දේහයන් ප්‍රමාණයක් මෙයට දින කිහිපයකට පෙරද රෝහල් වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු අතර එලෙස ඉතිරිව තිබෙන තවත් මෘත දේහයන්ද මේ අනුව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැනේ. මේ අතර ඇතැම් රෝහල්හි අබලන්ව ඇති මෘත ශරීරාගාර හා ශීතාගාර කඩිනමින් අළුත්වැඩියා කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව රෝහල්හි මෘත ශරීර අනවශ්‍ය ලෙස ගොඩ ගැසීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුව ඇතැයිද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now