ඡන්දය නොතිබ්බොත් පාලනය කා අතටද ? මෙන්න විස්තරේ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් කරුණු දැක්වීමට ඊයේ (18) තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලේඛන මේ වන විටත් මැතිවරණ කොමිසම ඔවුන්ගේ නීතීඥවරුන් වෙත භාරදී ඇති අතර, හෙට (20) හෝ අනිද්දා (21) අධිකරණය වෙත මෝසම ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
මැතිවරණ කොමිසම පවසන්නේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ඊට අදාළව කැඳවා ඇති නාමයෝජනා එම මැතිවරණය පැවැත්වෙන තෙක් වලංගු බවයි. කෙසේවෙතත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 19 වන දිනට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා
. ඒ පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වීම හේතුවෙන් වන අතර රට තුළ ආර්ථික අර්බුදයක් මතුව ඇති නිසා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම හෙට (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
පෙත්සම පසුගිය 10 වනදා කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර සලකාබැලීම ලබන 23 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ අතර කෙසේවෙතත් පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන්නැයි ඉල්ලමින් පෙත්සම්කරු විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා මෝසමක් ගොනුකළ අතර, පෙත්සම හෙට එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබෙනවා.