ඔබත් පරිස්සමෙන්.. මුණට මිරිස්කුඩු ගසා රන්මාල මංකොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් පස්දෙනෙකු හමුවෙයි.

By Sithumi Jun 05, 2023 04:10 PM GMT
Sithumi

Sithumi

Report


මූණට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පන්විලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් බවයි.

මෙම කණ්ඩායමට නායකත්වය ලබාදෙන පන්විලවත්ත සුද්දා නැමැති සැකකරු පන්විල වත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදීඅනෙක් සැකකරුවන් සහ ත්‍රීවිල් රථ අත්අඩංගුවට ගැනීමට දකුණු කළුතර පොලීසිය සමත් විය.

සැකකරුවන් ත්‍රිරෝද දෙකකින් ගොස් පිළියන්දල ප්‍රදේශයේ ගාල්කර තිබෙන යතුරු පැදියක් සොරකම් කොට එම යතුරු පැදිය යොදාගෙන මෙම රන්මාල මංකොල්ලකෑම සිදුකොට ඇත.ප්‍රධාන සැකකරු එම යතුරුපැදිය සොරකම් කරන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

ප්‍රධාන සැකකරුට එරෙහිව මංකොල්ලකෑම් , පහරදීම් ඇතුළු චෝදනා 23 ක් එල්ලවී ඇතැයිද පොලිසිය පවසයි. සැකකරුවන් පස්දෙනා ත්‍රිරෝද දෙකෙන් සහ යතුරුපැදියෙන් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ මුහුනට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකා ඇති බවට හෙලිව ඇති බව පොලිසිය කීය. මෙම කණ්ඩායම විසින් අවසන් වරට කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ ගල්ලස්හේන මංසන්දිය ආසන්නයේ වෙළඳසැල පවත්වාගෙන යන කාන්තාවකගේ රන් මාලය කඩාගෙන ගොස් ඇතිඅතර එම කාන්තාව දකුණු කළුතර පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකිවිය. සැකකරුවන් විසින් කොල්ලකෑ රන්මාලයක්, ජෙරේටරයක්, වාහන සේදුම් යන්ත්‍රයක්, ජංගම දුරකථනය දෙකක් සහ ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් කොල්ලකෑමට යොදාගත් ත්‍රීරෝද දෙකක් සහ යතුරුපැදියක්ද සොයාගත් බව පොලිසිය කීය. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .