දරු දෙදෙනා සමග සියදිවි හානිකරගන්න හැදූ පියා අත්අඩංගුවට

By Sithumi Jul 07, 2023 06:15 PM GMT
Sithumi

Sithumi

Report

කොළොන්නාව තොග ගබඩා නිමාව ඉදිරිපිට මාර්ගයේදී පුද්ගලයෙකු සිය දියණියන් දෙදෙනා ද සමඟ ගිනි තබාගෙන දිවි නසාගන්නා බව පවසමින් ඊයේ (06) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබුණේ පොලීසියෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින්.

ඒ අනුව ඔහු පෙට්‍රල් බෝතල් දෙකක් ද ළඟ තබාගෙන මාර්ගය මැද හිඳගෙන මෙලෙස විරෝධතාවයේ නිරතව සිටියා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහිදී එම ස්ථානයට පැමිණ ඔහුට කරුණු පැහැදිලි කරදුන් අතර එහෙත් එහිදී එම පුද්ගලයා සිය ඇඟට පෙට්‍රල් වත්කර ගැනීමට උත්සාහ කළ අතර පොලීසිය එය වැළැක්වීමට දැරුවේ මහත් පරිශ්‍රමයක්.

ඒ අතරතුර ඔහුගේ දස හැවිරිදි සහ හත් හැවිරිදි දැරියන් දෙදෙනා මුදාගැනීමට පොලිස් නිලධාරීන් දැඩි වෙහෙසක් දැරු අතර පසුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා

ඒවන විටත් සැකකරු ඇඟට පෙට්‍රල් වත්කරගෙන සිටි බව පොලීසිය පැවස අතරසැකකරු සතුව තිබූ උල් පිහියක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා කුඩා දියණියන් දෙදෙනාව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා.

එම කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංක දෙක ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරුට අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහු පදිංචි මීතොටමුල්ල නිවසට ගොස් ඇති බවයි

එහිදී සැකකරු පිහියක් පෙන්නා පළාගොස් ඇති අතර ඔහු සතුව තිබූ ජංගම දුරකථනය එහිදී පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. ඉන් තැතිගත් සැකකරු පොලීසිය බිය කිරීම සඳහා දිවි නසාගැනීමට මෙලෙස උත්සාහ කර ඇති බව පොලීසිය සඳහන් කළා.

නිවාස බිඳීම් ඇතුළු චෝදනා රැසක් සැකකරුට එල්ලවී ඇති අතර ඔහු පොලීසියට අවශ්‍යව සිටි අයෙකි. සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවී සිටීම නිසා ඔහුගේ බිරිය, කුඩා දැරියට වසරක් පමණ වන විට ඔවුන් අතහැර දමා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර ඊයේ රාත්‍රියේ සිට පොලිස් ආරක්ෂාව යටතේ සිටි කුඩා දියණියන් දෙදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත යොමු කිරීමෙන් පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ඔහුගේ දියණියන් දෙදෙනා පරිවාස නිලධාරීන් හරහා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට අධිකරණය නියෝග කළා.