සරසවි වරම් අහිමි සිසුන්ට පාඨමාලා හදාරන්න පොලී රහිත ණයක්

By Sithumi සති 1 කට පෙර
Sithumi

Sithumi

Report

උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදල ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමටයි නියමිතව තිබෙන්නේ ඒ අනුව අදාළ සිසුන්ට උසස් අධ්‍යාපන කටයුතු සඳහා පොලී රහිතව රුපියල් ලක්ෂ 11ක ණය මුදලක් ලබා ගත හැකි වනවා. අදාළ ණය මුදල පොලී රහිතව ලබා දීමට රජය සූදානම් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

මෙරට ණය පොලී අනුපාත මේ වන විට සියයට 25කට වැඩි අගයකට පත් ඇති බැවින් එම පහසුකම සිසුන්ට ලබා දීමට තීරණය කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සිසුන් 5,000කට මෙම ණය පහසුකම ලබා දීමට නියමිත බව සඳහන්.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ මීට අමතරව දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන මෙම ණය පහසුකම ඉදිරියේ දී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබා දීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මෙම ණය ලබා දීමේ දී ඉසෙඩ් අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගැනෙනවා.

අදාළ ණය මුදල විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව වසරක කාලයක් දක්වා ලබා දෙන අතර ආපසු ගෙවීම සිදු කළ යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයක්.