එකවර මාර්ග 04කින් ශ්‍රී පාදය කරුණාකර ලංකාවෙන් ලෝක වාර්තාවක් තබයි..එම සුවිශේෂී සිදුවීම මෙන්න..

Sri Lanka World
By Aruna Apr 10, 2024 04:59 AM GMT
Aruna

Aruna

Report

පැය 23 විනාඩි 46ක් තුළ මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා ඊයේ (09) දින සමත් වුණේ අපේ රටට ද අභිමානයක් එක් කරමින්.

පෙරේදා (08) පස්වරු 3.00ට සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ, නල්ලතන්නිය ශ්‍රි පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කළ ප්‍රින්ස්ලි ලියනගේ පැය 1 යි විනාඩි 20ක් තුළ ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන් කර, දෙවැනුව එතැන් සිට ශ්‍රි පාද එරත්න මාර්ගය ඔස්සේ අඩවි කන්දට බැස නැවත එම මාර්ගයේම ශ්‍රි පාද උඩ මළුවට ළගා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

තෙවනුව ශ්‍රී පාද උඩ මළුවේ සිට ශ්‍රී පාද පලාබද්දල මාර්ගය ඔස්සේ පහළට බැස එම මාර්ගයෙන් ම යලිත් ශ්‍රී පාද උඩ මළුව වෙත ළගා වූ ඔහු සිව්වැනුව ශ්‍රී පාද උඩ මළුවේ සිට ශ්‍රී පාද මාලින්බොඩ මාර්ගය මාලින්බොඩ දක්වා බැස, එතැන් සිට එම මාර්ගයෙන්ම ශ්‍රී පාද උඩ මළුව වෙත ඊයේ (09) පස්වරු 1.15 පමණ ශ්‍රී පාද උඩ මළුව වෙත ළගා වී, ශ්‍රී පාද උඩ මළුවේ සිට යලිත් නල්ලතන්නිය දක්වා පැය 1 විනාඩි 40 ක් තුළ නල්ලතන්නිය වෙත පැමිණ සිය වාර්තාව පිහිටුවිමට සමත් විය.

ඒ අනුව, රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමට අපෙක්ෂා කල කාලයට වඩා විනාඩි 14ක් කලින් කිලෝමිටර් 88.8ක් දුර පාගමනින් ගොස් සිය වාර්තාව පිහිටුවිමට සමත් වී තිබීම ද විශේෂත්වයක්.

රියර් අද්මිරාල් ප්‍රියන්ස්ලි ලියනගේ මාර්ග හතරක් ඔස්සේ පැය 23 විනාඩි 46 ක් තුළ ශ්‍රී පාදස්ථානය පාගමනින් ගොස් කරුණා කිරිමට සමත්වීම සම්බන්ධයෙන් ගිනස් වාර්තා සංවිධානයට (09) දින පස්වරුවේ දැනුම් දුන් බවත්, ඒ අනුව සති දෙකක් ඇතුලත ගිනස් වාර්තා සංවිධානය විසින් අදාළ වාර්තාව නිකුත් කිරිමට නියමිත බවයි, සෙරන්ඩිප් ලෝක වාර්තා සංවිධානයේ මෙරට සමාජික වෛද්‍ය ලාල් ඒකනායක මහතා ප්‍රකාශ කළේ.

මේ අතර රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ පැය 24ක් තුළ කිලෝමිටර් 88.8 පාගමනින් ගොස් තැබු වාර්තාවක් ලෙස ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි, සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර මහතා පවසන්නේ.