කච්චතිව් පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය ධීවර අමාත්‍යවරයාගේ ඇගයීමට
කච්චතිව් ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සිදුකළ නිරීක්ෂණය සාදරයෙන් පිළිගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් යළි ලබාගත යුතු බව ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගයේදී, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංජය කුමාර් මහතා ප්රමුඛ විනිසුරු මඩුල්ල තමිල්නාඩු ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබිණි.
විශේෂයෙන්ම කච්චතිව් ආශ්රිත මුහුදු තීරයේදී ශ්‍රී ලංකා සීමාවට ඇතුළු නොවන ලෙස තමිල්නාඩු ධීවරයන්ට පැහැදිලි උපදෙස් ලබාදීමේ සහ දෙරට අතර ජාත්‍යන්තර මුහුදු සීමාවට ගරු කිරීමේ වැදගත්කම එහිදී අධිකරණය අවධාරණය කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවකදී ශ්‍රී ලාංකිකයන් වෙරළ තීරයන් සහ පොදු ස්ථානවල පරිසරය මෙන්ම සාගර සම්පත් ආරක්ෂා කිරීමට දක්වන සමාජ වගකීම තමන් නිරීක්ෂණය කළ බව විනිසුරු සංජය කුමාර් මහතා පවසා ඇති අතර, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පවතින මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පළ කර තිබේ.