මහ බැංකුවෙන් රුපියල ගැන දැනුවත් කිරීමක් - රටම අමාරුවේ දාමින් ඩොලරය ඉස්සරහ රුපියල 8%න් බාල්දු වෙලා
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පෙන්වන පරිදී 2026 වසරේ ජනවාරි 01 වැනි දින සිට ජුනි 09 වැනි දින තෙක් වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 8%ක පමණ අවප්‍රමාණ වී ඇත.
ඉකුත් 2025 වසරේදී ද රුපියල ඩොලරයට සාපේක්ෂව 5.6%කින් බාල්දු වූ අතර, මෙම වසරේ මුල් මාස දෙකේදී පමණක් 0.2%ක සුළු අගය ඉහළ යෑමක් වාර්තා වී තිබෙන බව සඳහන්.
මේ බව හෙළි කට ඇත්තේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු විශේෂ වැඩසටහනකදීයි.
එහිදී මහ බැංකුව පෙන්වා දී ඇත්තේ ඉන්ධන සහ වාහන ඇතුළු භාණ්ඩ සඳහා අධික ආනයන වියදමක් වැය වීම මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රවලින් විදේශ විනිමය රට තුළට ගලා ඒම අඩු වීම හේතුවෙන් මෙසේ රුපියල ප්‍රධාන ලෙස පිරිහී ඇති බවයි.
එමෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි අපේක්ෂාවෙන් අපනයනකරුවන් තමන් උපයන ඩොලර් ආදායම් රුපියල් බවට පත් කිරීම ප්‍රමාද කිරීමත්, ආනයනකරුවන් සිය ඇණවුම් කල්තියාම ඉහළ දමා ඩොලර් මිලදී ගැනීම වැඩි කිරීමත් මීට සෘජුවම බලපා තිබෙන බව පවසයි.
තවද රජයේ සුරැකුම්පත් සහ කොළඹ කොටස් හුවමාරුව හරහා විදේශීය ආයෝජන රටින් පිටතට ගලා යාම ද මෙසේ රුපියලේ අගය පහත වැටීමට හේතු වී ඇත.
ඒ අනුව මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා රුපියල 8%කින් අවප්‍රමාණය වෙද්දී, කලාපීය අනෙකුත් රටවල මුදල් ඒකක ද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව දන්වයි.
ඒ ඉන්දුනීසියානු රුපියල 7.9%කින් ද, ඉන්දියානු රුපියල 6.2%කින් ද, නේපාල රුපියල 6%කින් ද, පිලිපීන පෙසෝ 4.6%කින් ද, තායිලන්ත බාත් 4.1%කින් සහ මැලේසියානු රින්ගිට් 0.1%කින් ද ඩොලරයට සාපේක්ෂව බාල්දු වෙමිනි.