බාදුරාගොඩ හදිසි ගින්නක් නිසා සිදුවු දේ...කෝටි ගණනක පාඩුවක්...

Police Baduragoda Gagana news emergency fire
By Subodha Mar 03, 2022 04:32 AM GMT
Subodha

Subodha

Report

බාදුරාගොඩ ගස්පේ පොත්තේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොල් තෙල් නිෂ්පාදනාගාරයක අද (3 ) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එම පොල් තෙල් නිෂ්පාදනාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි .

දහවල් සිදු කෙරෙන විදුලි කප්පාදුව නිසා සේවක පිරිසක් රැය පුරා පොල් තෙල් නිෂ්පාදන කටයුතුවල හා නඩත්තු කටයුතුවල යෙදී සිටින අවස්ථාවේදී අලුයම හතරට පමන එක්වරම විශාල ගින්නක් හටගත් බව ඔවුහු පැවසූහ.

ගින්න සැලවීමත් සමග ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීහු ගින්න නිවීමට ගත් උත්සාහය අසාර්ථක වීම නිසා කොප්පරා තොගයක් හා යන්ත්‍ර සූත්‍ර කිහිපයක් බේරා ගැනීමට කටයුතු කළ අතර එසේ දේපල බේරා ගැනීමට උත්සාහ ගත් කිහිප දෙනෙකු ද සුළු සුළු පිලිස්සුම් තුවාල ලබා තිබෙනු දැකිය හැකි විය.

කොප්පරා තොගයක් , නිපදවා තිබූ පොල් තෙල් තොගයක් හා පුන්නක්කු තොගය සමග නිෂ්පාදනාගායේ ප්‍රධාන යන්ත්‍රසුත්‍ර දැවී විනාශ වී තිබිණි.

පොල්තෙල් ටැංකියද ගින්නට ලක්වී ගිනිදළු බුර බුරා නැගෙනු දැකිය හැකිවිය.

පොල් තෙල් බැරල් දෙකක් පමණක් බේරාගෙන තිබිණි. සිදුවී ඇති හානිය රුපියල් කෝටි ගණනක් විය හැකි බව අනුමාන කෙරෙන අතර අලුයම හතරට පමණ ඇතිවූ ගින්න උදේ හය පමණ වන විටත් නිවා දැමීමට හැකියාවක් තිබුණේ නැත.

අනතුරුව එහි පැමිණි ගම්පහ නගර සභාවේ ගිනි නිවන අංශය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

පල්ලෙවෙල පොලිසිය නිලධාරී පිරිසක් ද මෙම කටයුතු සදහා දායකවූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now