ඇෆ්ගනිස්ථානය පරදා සිංහයින්ට සුපිරි ජයක් - ශ්‍රී ලංකාව සුපිරි 04 දෙනාගේ වටයට.. (PHOTOS)
අද (05) පාකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේ දී ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අතර තරගය පැවැත්විණ.
තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 04කදී ලකුණු 289ක් තුල ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ කඩුලු සියල්ල දවා ගනිමින් තරගය ජයග්‍රහණය කළේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර පළමුව පන්දුවට පහර දුන්නේ ය.
එහිදී පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 291ක් ලබා ගැනීමට සමත් වු අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ පැතුම් නිස්සංකයි.
ඔහු ලකුණු 41ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 32ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 92ක් හා චරිත් අසලංක ලකුණු 36ක් ලබා ගත්තේ ය.
එමෙන්ම මහීෂ් තීක්ෂණ ලකුණු 28ක් සහ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තේ ය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ඇෆ්ගනිස්තානයට ලකුණු 292ක ඉලක්කයක් හිමි විය.
ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ Mohammad Nabi පන්දු 32කට ලකුණු 65ක් ලබා සිටිය දී මහේෂ් තීක්ෂණගේ පන්දුවකට දැවී ගියා අතර Hashmatullah Shahidi පන්දු 65කට ලකුණු 59ක් ලබා සිටිය දී දුනිත් වෙල්ලාලගේ පන්දුවකට දැවී ගියේ ය.
කෙසේ වෙතත්, මෙම තරගය ලකුණු 02කින් ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 04 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීය.





