පාකිස්තානයට එරෙහිව මහා කුසලාන සටන අද - ශ්‍රී ලංකා සිංහයින් අද ලාහෝර් පිටියට

Report

එංගලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව එක්ව තරග වදින තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) සත්කාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතය.

ලාහෝර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තීරණාත්මක තරගය අද පස්වරු 1.30ට ආරම්භ වේ.

තරගාවලියේ මූලික වටයේදී තරග හතරකට සහභාගි වූ පාකිස්තානය ඉන් තරග තුනක් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

ඒ අනුව ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ තරගාවලියේ මූලික වටය නිමවීමටත් පෙරය.

මෑත කාලයේදී අඛණ්ඩ පරාජයන් හමුවේ පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී යළිත් සිය දක්ෂතා අතරට පැමිණීමට සමත් වීම කැපී පෙනේ. ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සතුටුදායක අවස්ථා රැසක් උදාකර දෙමින් කණ්ඩායම තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකාව මූලික වටයේ තරග හතරකට සහභාගි වී ඉන් තරග දෙකක් ජයගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ එංගලන්ත කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තු ද බිඳ දමමිනි. අද අවසන් මහා තරගය පැවැත්වෙන ලාහෝර් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙස සැලකීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව මේ දක්වා එම ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර තරග 16කට සහභාගි වී ඇති අතර, ඉන් තරග 11ක් ජයගැනීමට සමත්ව තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ලාහෝර් ක්‍රීඩාංගණයේදී සහභාගි වූ එක්දින තරග හතෙන් හයක්ම ජයගෙන තිබීම ද අද තරගයට පෙර කණ්ඩායමට මානසික වාසියක් එක්කරන සාධකයකි.