ලෝක බැංකුවෙන් හදිසියේම ලංකාවට ලැබුණ වටිනා පැකේජය..

Sri Lanka Economic Crisis Sri Lanka World Bank
By krishani Apr 24, 2022 03:38 AM GMT
krishani

krishani

Report

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වී ඇති ශ්‍රී ලංකාව සඳහා හදිසි ආධාර පැකේජයක් සූදානම් කරන බව ලෝක බැංකුව පවසයි.

ශ්‍රී ලංකා බලධාරීන් සමග වොෂින්ටනයේ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ලෝක බැංකු ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධ මිලදීගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10ක ආධාරයක් ලබාදීමට නියමිත බවය.

අදාළ මුදල ලෝක බැංකුවේ කොවිඩ් -19 සෞඛ්‍ය ව්‍යාපෘතියෙන් ලබාදීමට නියමිතය.

ඊට අමතරව ගෑස්, ආහාර, බීජ සහ පොහොර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ද සහායවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසුවන බවත් අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරණ උත්සහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම අරමුදල පෙන්වා දෙන්නේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බලධාරින් සමග සමීපව කටයුතු කර අනෙක් සියලු පාර්ශවකරුවන් සමග එක්ව අර්බුදය කාලෝචිත ලෙස විසඳාගැනීමට සහාය වන බවය.

අප්‍රේල් 18 සහ 22 යන කාලය තුළ අමෙරිකාවේ වොෂින්ටන්හිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග පැවති සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසයිරෝ නොසාකි විසින් ඒ බව ප්‍රකාශ කර තිබේ.

අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන ණය වැඩසටහන සඳහා කළ ඉල්ලීම සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා බලධාරීන් සමග ඵලදායී තාක්ෂණික සාකච්ඡා පැවැත්වූ බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම හා එහි සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම, වත්මන් අර්බුදය තුළ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විශ්වාසනීය උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව එම සාකච්ඡාවලට ඇතුළත් වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ණය හිමියන් සමග සහයෝගී සංවාදයක නිරත වීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ සැලැස්ම පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join