2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ග්ලාස්ගෝ යන ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්පූර්ණ විස්තරය මෙන්න
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා පැවැත්වෙන 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නිල වශයෙන් අවසන් කර තිබේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිමි ක්‍රීඩකයින් 27 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළත් වන අතර, ක්‍රීඩා ඉසව් හතක් යටතේ රට නියෝජනය කිරීමට නියමිතය.
කණ්ඩායමේ ප්‍රධානියා ලෙස (Chef de Mission) නිලුක කරුණාරත්න සහ සාමාන්‍ය කණ්ඩායම් කළමනාකරු ලෙස මොහොමඩ් රිෆාත් කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තා හිමිකරු පී. රුමේෂ් තරංග කණ්ඩායම් නායකයා ලෙස නම් කර තිබේ.
ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය බර්මින්හැම් 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභී පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාරට හිමිව ඇති අතර, බැටන් රැගෙන යාමට ජනනි ධන්ජනා නම් කර ඇත.
මලල ක්‍රීඩා කණ්ඩායමට වැඩි අවධානයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාලතම කොටස මලල ක්‍රීඩාව නියෝජනය කරන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු විවිධ ධාවන හා පිටිය ඉසව්වලට එක්වීමට නියමිතය.
පිරිමි පිටිය ඉසව්වලදී කණ්ඩායම් නායක රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමෙන් තරග වදින අතර, උස පැනීමේ ක්‍රීඩක එස්.ඒ. තරිඳු දසුන්, තුන් පිම්ම ක්‍රීඩක යේෂාන් විශ්මිත් කුමාර, රිටි පැනීමේ ක්‍රීඩක අරුන්තවරසා පුවිදරන් සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ආර්.එම්. සුමේධ රණසිංහ ද කණ්ඩායමට එක්ව සිටිති.
ධාවන ඉසව් සඳහා වයි. චමෝද් යෝධසිංහ, ඩී. ඉඳුවර වීරරත්න, ඩබ්ලිව්. මලිත් තමෙල්, ආර්. රොෂාන් දම්මික රණතුංග සහ මැදි දුර ධාවක ඩී.එම්.එස්. හර්ෂ කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරති.
බාධක දිවීම සහ සහය දිවීමේ ඉසව් සඳහා කේ.එල්. අයෝමාල් අකලංක, ඒ.එල්. අසිත රත්නසේන, එච්.කේ. කලිංග කුමාරගේ, කේ. කලහාර ඉදුප සිල්වා සහ එස්. අරුණ දර්ශන එක්ව සිටිති.
කාන්තා මලල ක්‍රීඩා කණ්ඩායම තුළ දක්ෂ තරුණ ක්‍රීඩිකාවන් මෙන්ම පළපුරුදු ක්‍රීඩිකාවන්ද සිටින අතර, එච්.එම්. නෙත්මිකා මධුෂානි හේරත් දුර පැනීම සහ තුන් පිම්ම යන ඉසව් දෙකෙන්ම තරග කරනු ඇත.
අත්දැකීම් බහුල හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා එච්.එල්.එන්. දිල්හානි ලේකම්ගේ ද පදක්කම් බලාපොරොත්තුවක් ලෙස සැලකේ. පැරා ක්‍රීඩා අංශයෙන් පදක්කම් බලාපොරොත්තු පැරා මලල ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වන අතර, පාලිත බණ්ඩාර මෙහි ප්‍රමුඛතම ක්‍රීඩකයා වේ.
බර්මින්හැම් 2022 ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනාගත් පාලිත බණ්ඩාරගේ අත්දැකීම් කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇත.
පැරා මලල ක්‍රීඩා පුහුණුකරු බී.එම්. සුරේෂ් නලින්ද සේනාරත්නගේ මඟපෙන්වීම යටතේ ක්‍රීඩකයින් තරගයට සූදානම් වෙති. පිහිනුම් සහ ජිම්නාස්ටික් අංශ ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම ජූලි 24 සිට 29 දක්වා Tollcross International Swimming Centre හිදී තරග වදින අතර, ප්‍රධාන පුහුණුකරු ලෙස ද්විත්ව ඔලිම්පික් ක්‍රීඩක මැතිව් අබේසිංහ කටයුතු කරයි.
18 හැවිරිදි ජාතික ශූර එම්.එෆ්. මුහම්මද්, කයිල් අබේසිංහ වෙනුවට කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර, මීටර් 50 සමනල, මීටර් 50 නිදහස්, මීටර් 100 නිදහස් සහ මීටර් 100 සමනල යන ඉසව් හතරකට එක්වනු ඇත.
කාන්තා පිහිනුම් කණ්ඩායම නියෝජනය කරන්නේ එක්සත් රාජධානියේ පුහුණුව ලබන මිනගී රූපසිංහය. ඇය මීටර් 200 පසුපස පිහිනීම, මීටර් 100 පසුපස පිහිනීම සහ මීටර් 100 නිදහස් පිහිනීම යන ඉසව්වලට එක්වනු ඇත.
ජිම්නාස්ටික් අංශයේ විශේෂ අවධානය දිනාගන්නා ක්‍රීඩිකාව වන්නේ ශ්‍රී ලංකා-ඇමරිකානු ක්‍රීඩිකා ටියානා සුමනසේකරය.
ඇය එක්සත් ජනපද ජාතික කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස පස් වතාවක් තේරී ඇති අතර, පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා එක්සත් ජනපද කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක් ලෙසද කටයුතු කර තිබේ.
ඇය සමඟ නුයාරා නිසින්දි ප්‍රනාන්දු සහ නදීල නෙත්විදු සමස්ත ඉසව් සඳහා තරග කරති.
බර ඉසිලීමෙන් ඉහළ බලාපොරොත්තු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් අංශයක් වන බර ඉසිලීම සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එක්වේ.
පිරිමි අංශයෙන් එස්.ඩබ්ලිව්.කේ.ආර්. සුපුන් දිල්හාර සෝමතිලක (කිලෝග්‍රෑම් 60), කේ.සී.ඒ. සඳු දුත්ෂාන් ජයවර්ධන (කිලෝග්‍රෑම් 65) සහ ඩී.එම්. ඉන්දික චතුරංග දිසානායක (කිලෝග්‍රෑම් 71) තරග කරති. කාන්තා අංශයෙන් ජී.ජී. උපමාලිකා රවිහාරි ගුණතිලක (කිලෝග්‍රෑම් 48) සහ චතුරිකා ප්‍රියන්ති බලගේ (කිලෝග්‍රෑම් 86) ශ්‍රී ලංකාව නියෝජනය කරති.
බොක්සිං සහ ජූඩෝ තරග බොක්සිං අංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර, ඔවුන් ජූලි 24 සිට අගෝස්තු 1 දක්වා තරග වදිනු ඇත. කණ්ඩායමට ආර්.ඒ. නදීකා පුෂ්පකුමාරි, කේ.ඒ. කේෂානි හංසිකා කස්තුරි ආරච්චි, පී.පී. රුක්මල් ප්‍රසන්න, ජී.ජේ.කේ. රවිඳු ජයනාත් කුමාර, වයි. සිතිජ ප්‍රතාප් සුදම්ම සහ කේ.ජී. චමිල් පත්මසිරි ඇතුළත්ය.
ජූඩෝ අංශයෙන් චාමර නුවන් ධර්මවර්ධන සහ විමුක්ති ප්‍රියංකර ප්‍රේමරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජූලි 31 සිට අගෝස්තු 2 දක්වා තරග වදිති. ග්ලාස්ගෝ වෙත බලාපොරොත්තු සහිත ගමනක් මලල ක්‍රීඩා, පැරා මලල ක්‍රීඩා, පිහිනුම්, ජිම්නාස්ටික්, බර ඉසිලීම, බොක්සිං සහ ජූඩෝ යන ක්‍රීඩා හතකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සහ නව පරපුරේ දක්ෂයින් සමඟ ග්ලාස්ගෝ බලා පිටත්වීමට සූදානම්ය.
පාලිත බණ්ඩාර සහ රුමේෂ් තරංග වැනි ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ නායකත්වයත්, එම්.එෆ්. මුහම්මද් සහ ටියානා සුමනසේකර වැනි තරුණ ක්‍රීඩකයින්ගේ නව ජවයත් සමඟ ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වේ. ජූලි 23 වනදා ආරම්භ වන ග්ලාස්ගෝ 2026 ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටේ ගෞරවය වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට සූදානමින් සිටිති.