මුණුපුරන් 92ක් සහ මී මුණුපුරන් 12ක් මැද අවුරුදු 111ක් සපුරන කරන්දෙනියේ මෙනියල් මහතා - නිලධාරීන්ගෙන් ගෞරව සම්මාන
ශ්‍රී ලංකාවේ ජීවතුන් අතර සිටින වැඩිම වයසැති පුද්ගලයා ලෙස සැලකෙන බී. එච්. මෙනියල් මහතා මේ වන විට වයස අවුරුදු 111ක් සම්පූර්ණ කර තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසි ලේකම් කාර්යාලයේ තොරතුරුවලට අනුව, කරන්දෙනිය, අංගුලුගල්ල ප්‍රදේශයේ පදිංචි මෙනියල් මහතා 1915 ජුනි 4 වැනිදා උපත ලබා ඇත.
වසර 111ක දීර්ඝ ජීවිත කාලයක් ගත කර ඇති ඔහු තවමත් තියුණු මතක ශක්තියකින් සහ මනා සිහිකල්පනාවකින් යුතුව යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව එම කාර්යාලය සඳහන් කරයි.
පවුලේ සාමාජිකයින්ගෙන් ලැබෙන ආදරය, රැකවරණය සහ සහයෝගය මධ්‍යයේ ඔහු සතුටින් මෙන්ම මානසිකව ක්‍රියාශීලීව ජීවිතය ගත කරන බව ද වාර්තා වේ.
මෙනියල් මහතා පුතුන් පස් දෙනෙකු සහ දියණියන් සිව් දෙනෙකු ඇතුළුව දරුවන් නව දෙනෙකුගේ පියෙකි.
ඔහුගේ වැඩිමහල් දරුවා මේ වන විට අභාවප්‍රාප්ත වී ඇති අතර, සෙසු දරුවන් අට දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වේ.
එමෙන්ම, ඔහුගේ පවුලේ සාමාජිකයින් අතර මුණුපුරු මිණිපිරියන් 92 දෙනෙකු සහ මී මුණුපුරු මිණිපිරියන් 12 දෙනෙකු ද සිටීම විශේෂත්වයකි. මෙනියල් මහතාගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා ඔහුගේ දරුවන් එක්ව අවශ්‍ය රැකවරණය සහ පහසුකම් සලසා දෙන අතර, සමාජය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට ද අවශ්‍ය අවස්ථාවන් සලසා දෙන බව ජ්‍යෙෂ්ඨ පුරවැසි ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ජීවතුන් අතර සිටින වැඩිම වයසැති පුද්ගලයා ලෙස මෙනියල් මහතාට ගෞරවය සහ පිළිගැනීම පිරිනැමීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ලේකම් කාර්යාලයේ සහ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පසුගිය අඟහරුවාදා (03) ඔහුගේ නිවසට ගොස් තිබේ.