විදුලිය නිපදවන්නෙත් නෑ - හැබැයි නිකන් ඉන්නවට වසරකට රුපියල් බිලියන 15ක් ගෙවන ලංකාවේ අමුතු බලාගාරය
ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ද්‍රවීකෘත ස්වාභාවික වායුව (LNG) භාවිතය පිළිබඳ බලාපොරොත්තු වසර ගණනාවක් පුරා මතුව තිබුණද, එහි ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම හේතුවෙන් රටට දැඩි මූල්‍ය හා පාරිසරික බලපෑම් එල්ල වී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙති.
පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහතා සඳහන් කරන්නේ, සැලසුම් කර ඇති මෙගාවොට් 350ක සහස්දනවි බලාගාරය විදුලිය නිපදවීමකින් තොරව වුවද “ක්‍රියාත්මක කිරීමට සූදානම්” තත්ත්වයේ පවත්වාගෙන යාම සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක්, එනම් රුපියල් බිලියන 15කට ආසන්න මුදලක් වැය වන බවයි.
දේශපාලන පෙරළියක්.. හිටපු ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හදිසියේ රැස්වූ හේතුව
ඔහු පෙන්වා දෙන්නේ, මෙවැනි ව්‍යාපෘති තවමත් පොසිල ඉන්ධන මත රඳා පවතින බැවින් ඒවා පිරිසිදු බලශක්ති සංක්‍රාන්තියේ කොටසක් ලෙස හඳුන්වාදීම ජනතාව නොමඟ යවන සුළු බවයි.
මේ අතර, LNG භාවිතය සඳහා සැලසුම් කළ මෙගාවොට් 350ක සෝබාදනවි බලාගාරයද දැනට ඩීසල් මගින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. LNG ආනයනය හා ගබඩා කිරීම සඳහා අවශ්‍ය පර්යන්ත සහ යටිතල පහසුකම් මෙතෙක් ස්ථාපිත කර නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
හිටපු බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා පවසන්නේ, LNG ව්‍යාපෘති ප්‍රමාදයට හේතු වී ඇත්තේ තාක්ෂණික ගැටලු පමණක් නොව, පෙර ටෙන්ඩර් ක්‍රියාවලීන් අවලංගු වීම සහ ප්‍රතිපත්තිමය අස්ථාවරතාවය ද වන බවයි.
දත්ත අනුව, LNG පර්යන්ත පහසුකම් වසර 10ක් පවත්වාගෙන යාම සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. විශේෂඥයින් අනතුරු අඟවන්නේ මෙය දිගුකාලීන මූල්‍ය බැඳීමක් බවට පත්විය හැකි බවයි.
විදුලි නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් ද සැලකිය යුතු අවදානමක් පවතී. සෝබාදනවි බලාගාරයේ සැලසුම්ගත ඒකක පිරිවැය රුපියල් 82ක් වුවද, දැනට ඩීසල් මගින් නිපදවීමේ පිරිවැය රුපියල් 86ක් පමණ වේ. කෙසේ වෙතත්, වත්මන් ලෝක වෙළඳපොළ තත්ත්වයන් යටතේ LNG මගින් විදුලි ඒකකයක් නිපදවීමේ පිරිවැය රුපියල් 150ක් දක්වා ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර ඇත.
මෙම තත්ත්වය හමුවේ, බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Storage Systems) සඳහා ආයෝජනය කිරීම වඩාත් ප්‍රායෝගික හා ලාභදායී විකල්පයක් ලෙස විශේෂඥයන්ගේ අවධානයට ලක්ව තිබේ. පුනර්ජනනීය බලශක්තිය ගබඩා කර අවශ්‍ය අවස්ථාවල භාවිතයට ගැනීම මගින් LNG සහ ඩීසල් මත ඇති රඳාපවතිම සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව ඔවුන් පෙන්වා දෙති.
විශේෂඥයන්ගේ අදහස වන්නේ LNG යටිතල පහසුකම් ප්‍රමාදය තාක්ෂණික ගැටලුවක් පමණක් නොව, ජාතික ආර්ථිකයට බරපතළ මූල්‍ය බලපෑමක් එල්ල කරන ප්‍රතිපත්තිමය අභියෝගයක් බවයි.