ශ්‍රී ලාංකිකයන්ගෙන් භාගයකටත් පරිගණකය තනිව භාවිත කළ නොහැකියි - ඩිජිටල් තාක්ෂණය ඉහළ යද්දී පරිගණක සාක්ෂරතාව පහළට
ඩිජිටල් තාක්ෂණය දෛනික ජීවිතයට වේගයෙන් එක්වෙමින් තිබුණද, ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 62කට ආසන්න පිරිසකට පරිගණකයක් ස්වාධීනව භාවිත කිරීමේ හැකියාව නොමැති බව නවතම රජයේ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 වසරේ පළමු මාස හය සඳහා වන පරිගණක සාක්ෂරතා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, වයස අවුරුදු 5ත් 69ත් අතර ජනගහනයෙන් පරිගණකයක් තනිව භාවිත කිරීමේ හැකියාව ඇත්තේ සියයට 38.1කට පමණි.
කෙසේ වෙතත්, එම වයස් කාණ්ඩයේ පුද්ගලයන්ගෙන් සියයට 72.5කට ඩිජිටල් සාක්ෂරතාව පවතින බව ද සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
එමඟින් පෙනී යන්නේ බොහෝ දෙනෙකුට ස්මාර්ට් ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් උපාංග භාවිත කළ හැකි වුවද පරිගණක භාවිතය සම්බන්ධයෙන් තවමත් සීමාවන් පවතින බවයි.
ලංකාවෙන් උඩුගත කළ වීඩියෝ 870,000 කට වැඩිය TikTok ඉවත් කරයි - සෙල්ලම් දාපු හැමෝටම TikTok වෙතින් දැනුවත් කිරීමක්
පරිගණක සාක්ෂරතාව සම්බන්ධයෙන් පිරිමි සහ කාන්තා පාර්ශ්ව අතර විශාල වෙනසක් දක්නට නොලැබෙන අතර, පිරිමින්ගෙන් සියයට 38.9කටත් කාන්තාවන්ගෙන් සියයට 37.3කටත් පරිගණකයක් ස්වාධීනව භාවිත කිරීමේ හැකියාව පවතී.
වයස් කාණ්ඩ අනුව සැලකීමේදී ඉහළම පරිගණක සාක්ෂරතාව වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 15ත් 19ත් අතර පිරිසෙනි. එම අගය සියයට 75.2කි. වයස අවුරුදු 20ත් 24ත් අතර පිරිසගේ පරිගණක සාක්ෂරතාව සියයට 71.2ක් ලෙස දැක්වේ.
එහෙත් වයස වැඩිවීමත් සමඟ පරිගණක සාක්ෂරතාව සැලකිය යුතු ලෙස පහළ යන බව ද වාර්තාව පෙන්වා දෙයි.
වයස අවුරුදු 50ත් 59ත් අතර පිරිසගෙන් පරිගණක සාක්ෂරතාව ඇත්තේ සියයට 18කට පමණක් වන අතර, වයස අවුරුදු 60ත් 69ත් අතර පිරිස අතර එම අගය සියයට 9.2කි.
අධ්‍යාපන මට්ටම ද පරිගණක සාක්ෂරතාව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
අ.පො.ස. උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන් අතර පරිගණක සාක්ෂරතාව සියයට 77.7ක් වන අතර, කිසිදු පාසල් අධ්‍යාපනයක් නොලැබූ පිරිස අතර එය සියයට 1.5ක් පමණි.
ඉංග්‍රීසි භාෂාව කියවීමට සහ ලිවීමට හැකියාව ඇති පුද්ගලයන් අතර ද පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින අතර, එම පිරිසෙන් සියයට 74.7කට පරිගණකයක් ස්වාධීනව භාවිත කිරීමේ හැකියාව ඇත.
මේ අතර, මෙරට නිවාසවලින් ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් හිමිකරගෙන සිටින්නේ සියයට 20.8ක් පමණක් බව ද වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, සෑම නිවාස පහකින් හතරකට වැඩි ප්‍රමාණයකට එවැනි පරිගණකයක් නොමැත. නාගරික ප්‍රදේශවල පරිගණක හිමිකාරීත්වය සියයට 36.2ක් ලෙස ඉහළම අගයක් ගන්නා අතර, ග්‍රාමීය ප්‍රදේශවල එය සියයට 18.6කි.
වතු ආශ්රිත ප්‍රදේශවල පරිගණක හිමිකාරීත්වය සියයට 2.2ක් වැනි අඩු අගයක් ගෙන තිබේ.
පළාත් අනුව වැඩිම පරිගණක හිමිකාරීත්වය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය සියයට 32.1කි. අඩුම අගය වන සියයට 12.8 නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇත.
පරිගණක සාක්ෂරතාව සම්බන්ධයෙන් ද නාගරික අංශය ඉදිරියෙන් සිටින අතර එම අගය සියයට 51.6කි. ග්‍රාමීය අංශයේ එය සියයට 36.3ක් වන අතර වතු අංශයේ එය සියයට 15.8කි.
පළාත් මට්ටමින් වැඩිම පරිගණක සාක්ෂරතාව බස්නාහිර පළාතෙන් සියයට 47.6ක් ලෙස වාර්තා වී තිබේ.
අඩුම අගය වන සියයට 27.5 උතුරු මැද පළාතෙන් වාර්තා වී ඇත. කෙසේ වෙතත්, පරිගණක සාක්ෂරතාව අඩු මට්ටමක පැවතිය ද අන්තර්ජාල භාවිතය ඉහළ යමින් පවතී.
වයස අවුරුදු 5ත් 69ත් අතර ජනගහනයෙන් සියයට 63.9ක් පසුගිය මාස 12 තුළ අවම වශයෙන් එක් වරක් හෝ අන්තර්ජාලය භාවිත කර ඇති බව සමීක්ෂණය පෙන්වා දෙයි. 2025 වසරේදී එම අගය සියයට 60.4ක් විය.
වයස අවුරුදු 20ත් 24ත් අතර පිරිස අතර අන්තර්ජාල භාවිතය සියයට 91.8ක් ලෙස ඉහළම අගයක් ගෙන ඇති අතර, වයස අවුරුදු 25ත් 29ත් අතර පිරිස අතර එය සියයට 90.6කි.
එහෙත් එම කාලසීමාව තුළ විද්‍යුත් තැපෑල (Email) භාවිත කර ඇත්තේ ජනගහනයෙන් සියයට 21.9ක් පමණි. අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රධාන උපාංගය බවට පත්ව ඇති බව ද වාර්තාවෙන් අනාවරණය වේ.
ඒ සඳහා භාවිත කරන උපාංගවලින් සියයට 80.9ක් ස්මාර්ට් ජංගම දුරකථන වන අතර, ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණකවල දායකත්වය සියයට 17.1කි.
පරිගණක භාවිතය පිළිබඳ දැනුම ලබාගැනීමේ ප්‍රධානතම මූලාශ්‍ර ලෙස පාසල් සහ විශ්වවිද්‍යාල හඳුනාගෙන ඇති අතර, පරිගණක සාක්ෂරතාව ඇති පුද්ගලයන්ගෙන් සියයට 63.5ක් ඒවා මඟින් දැනුම ලබාගෙන තිබේ.
ස්වයං අධ්‍යයනය මඟින් දැනුම ලබාගත් පිරිස සියයට 41ක් වන අතර, පවුලේ සාමාජිකයන්ගෙන් දැනුම ලබාගත් පිරිස සියයට 28.1කි.
2026 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර, ඒ සඳහා දිවයින පුරා විසිරුණු නිවාස 12,500ක නියැදියක් සහ වයස අවුරුදු 5ත් 69ත් අතර පුද්ගලයන් ඇතුළත් කරගෙන තිබේ.