නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්.
යහපාලන රජය සමයේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය නිවාඩු යවනු ලැබූ එවක ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ වත්මන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කටයුතු මාස තුනක් තුළ අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබෙනවා.
එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබුනේ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි.
පෙත්සම්කාර නාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනමකට ලක් කොට ඉන් පසුව අනිවාර්ය අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කෙරුණු බවත් කියා සිටියා.
එමෙන්ම ඔහුට එරෙහිව තවදුරටත් පරීක්ෂණ කටයුතු කීපයක් සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් ඔහුට උසස්වීම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් ප්‍රකාශ කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවයි.
ඒ අනුව පෙත්සම්කරුට අදාල සියලු පරීක්ෂණ මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කළ අතර අනතුරුව අදාල පෙත්සම පෙබරවාරි මස 28 වැනිදා කැඳවීමටද නියෝග ලබා දී තිබුනා.