ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමවෙයි - කණ්ඩායම වෙනුවෙන් උපරිමය කිරීමට උත්සාහ කළ බව කුසල් මෙන්ඩිස් කියයි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. තරගයේ අවසන් දිනය වූ අද (13) දිනයේදී පාකිස්තාන දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 284ක් ලබා සිටියදී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළහ.
ඒ අනුව, පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 446ක් රැස් කළ අතර, පාකිස්තානය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබා ඉනිම අත්හිටුවීය.
පාකිස්තාන දෙවැනි ඉනිමේදී සෞද් ශකීල් ලකුණු 97ක් රැස් කළේය. පන්දු 210කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් එල්ල කළ ඔහු, ශතකය පෙනෙන මානයේදී ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යාම විශේෂත්වයකි.
මෙම තරගයේ ඉනිම් දෙකේදීම ඔහු ලකුණු 90 සීමාව පසු කළ ද ශතකයක් වාර්තා කිරීමට නොහැකි විය. තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පාකිස්තාන ක්‍රීඩක සකීබ් ඛාන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
ඔහු පළමු ඉනිමේදී ලකුණු 130කට කඩුලු 7ක් දවාගනිමින් ටෙස්ට් මංගල තරගයකදී පාකිස්තානය වෙනුවෙන් ඉනිමක වාර්තා කළ සිව්වැනි හොඳම පන්දු යැවීම ද සටහන් කළේය.
තරගය අවසන් වීමෙන් අනතුරුව අදහස් දැක්වූ පාකිස්තාන නායක බාබර් අසාම් සඳහන් කළේ, ශ්‍රී ලංකා පිතිකරුවන් වන ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ගොඩනැගූ සම්බන්ධතාව හේතුවෙන් ශ්‍රී ලංකාවට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකි වූ බවයි.
එමෙන්ම, තම කණ්ඩායමේ සකීබ් ඛාන් දැක්වූ දක්ෂතාව ද ඔහු අගය කළේය. ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පැවසුවේ පළමු සැසියේදී කණ්ඩායමෙන් හොඳ දක්ෂතාවක් නොපෙන්වූ නමුත් ඉන් අනතුරුව පැවති සැසිවලදී පිතිකරණයෙන් සහ දෙවැනි ඉනිමේ පන්දු යැවීමෙන් හොඳ දක්ෂතාවක් දැක්වීමට හැකි වූ බවයි.
නායකයකු ලෙස තම පළමු තරගයේදී කණ්ඩායම වෙනුවෙන් උපරිමය කිරීමට උත්සාහ කළ බව ද ඔහු සඳහන් කළේය.