අමාත්‍ය විජිත හේරත් නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට සූදානම්

Report

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා නවසීලන්ත සංචාරයේ නිල කටයුතු අද ආරම්භ කළ අතර මෙම සංචාරය 2014 වසරෙන් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ නිරත වූ පළමු නිල සංචාරයයි.

නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා කොළඹ කළ සංචාරයෙන් වසරකට පසුව සිදු වූ මෙම සංචාරය, දෙරට අතර වේගයෙන් වර්ධනය වන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් ලෙස ඇගයීමට ලක්ව ඇත.

නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික මාවෝරි "පෝහිරි" (Pōwhiri) චාරිත්‍රානුකූල පිළිගැනීමේ උත්සවයක් සමඟින් අමාත්‍ය හේරත් මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, එය තමන්ට බෙහෙවින් අර්ථවත් වූ ගෞරවයක් බව ඒ මහතා සඳහන් කළේය. 2021 වසරේදී ශ්‍රී ලංකාව තුළ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට සමගාමීව, අමාත්‍ය හේරත් මහතා සිය සංචාරය අතරතුර වෙලින්ටන් නුවර පළමු ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් අද විවෘත කළේය.

මෙම පියවර නවසීලන්ත රජයේ ඉහළ ඇගයීමට ලක්විය. "නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඉතා සුහදශීලී සහ වේගයෙන් වර්ධනය වන සබඳතාවක්. වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, පොදුරාජ්‍ය මණ්ඩලය සහ ක්‍රිකට් ක්‍රීඩාව වැනි දීර්ඝකාලීන සබඳතාවල සිට අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය සහ රග්බි ක්‍රීඩාව දක්වා මේ වන විට අපගේ සබඳතා පුළුල් වෙමින් පවතිනවා." යැයි නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා පැවසීය. "නවසීලන්තයේ ප්‍රථම ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙය අපගේ සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් වගේම, වඩාත් සමීපව එක්ව කටයුතු කිරීමට ඇති අපගේ අන්‍යෝන්‍ය අභිලාෂය මනාව පෙන්නුම් කරන්නක්." යනුවෙන් නවසීලන්ත විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

නිල සාකච්ඡාවලදී, අමාත්‍ය පීටර්ස් සහ අමාත්‍ය හේරත් යන මහත්වරුන් ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සහ වෙළඳ, ආයෝජන, අධ්‍යාපන හා ක්‍රීඩා ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. මෙම සංචාරයේ කොටසක් ලෙස, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන රාමුවක් (TIFA) පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශයට පත් කරන ලදී.

TIFA ප්‍රකාශනය සාදරයෙන් පිළිගනිමින් නවසීලන්ත වෙළඳ හා ආයෝජන අමාත්‍ය ටොඩ් මැක්ලේ මහතා ප්‍රකාශ කළේ, "ශ්‍රී ලංකාව යනු ගතික සහ වැදගත් වෙළඳපොළක් වන අතර, නවසීලන්ත අපනයනකරුවන්ට එහි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉතා හොඳ අවස්ථාවක් තිබෙනවා. වෙළඳ හා ආයෝජන රාමු විධිවිධානයක් (TIFA) මඟින් සබඳතා ශක්තිමත් කරමින් සහ වෙළඳ බාධක අවම කරමින් නව අවස්ථා උදා කර ගැනීමට උපකාරී වනු ඇත. මෙම TIFA ගිවිසුම මඟින් එහි උපරිම විභවය ලබා ගැනීමට සහ ඉදිරි වසර 10 ඇතුළත අපනයන අගය දෙගුණ කිරීමේ නවසීලන්තයේ අභිලාෂකාමී ඉලක්කය කරා ගමන් කිරීමට සහය වනු ඇත." යනුවෙනි.

අමාත්‍ය පීටර්ස් මහතා සමඟ පැවැති හමුවට අමතරව අමාත්‍ය හේරත් මහතා ඉහළ මට්ටමේ සාකච්ඡා මාලාවකට ද එක්විය. ඔහු නවසීලන්ත පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ගරු ජෙරී බ්‍රවුන්ලී මහතා හමුවූ අතර, එහිදී වෙළඳ, අධ්‍යාපන සහ පාර්ලිමේන්තු කටයුතුවල ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අනාගත මාවත් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එසේම, අමාත්‍ය හේරත් මහතා ක්‍රීඩා හා විශ්‍රාන්ති අමාත්‍ය මාර්ක් මිට්චෙල් මහතා සමඟ ද ඵලදායී සාකච්ඡාවක නිරත විය. එහිදී ක්‍රිකට්, රග්බි සහ ශ්‍රී ලාංකිකයන් සඳහා වන පුහුණු අවස්ථා පිළිබඳ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් සබඳතාවලට වසර 100ක් පිරීම නිමිත්තෙන් 2027 වසරේදී පැවැත්වීමට නියමිත ඓතිහාසික සැමරුම් උත්සව පිළිබඳව ද දෙපාර්ශවය මෙහිදී සාකච්ඡා කළහ.

අමාත්‍ය හේරත් මහතා සඳහන් කළ පරිදි, දේශපාලන, වෙළඳ, ක්‍රීඩා, පාලන කටයුතු සහ නවසීලන්තයේ වෙසෙන ගතික ශ්‍රී ලාංකික ප්‍රජාව වැනි විවිධ ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව ඔවුන් සුබවාදී සාකච්ඡාවක නිරත වී ඇත. "අපි වත්මන් ගෝලීය හා කලාපීය වර්ධනයන් සහ ඒවායේ බලපෑම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්තා." යැයි අමාත්‍ය හේරත් මහතා එම හමුවෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

තවද, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් පහසු කිරීමට දෙරටම අදහස් කරන බව ප්‍රකාශ කළ ඒ මහතා, සංචාරක කර්මාන්තයට මෙන්ම විදේශ ප්‍රේෂණ සඳහා ද ගුවන් සබඳතා ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළේය. නවසීලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවකයන් මෙරටට එවන ප්‍රේෂණවල වැදගත්කම විශේෂයෙන් ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා, ඔවුන්ගේ කැපවීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දක්වන මිල කළ නොහැකි දායකත්වය අගය කළේය. අමාත්‍ය හේරත් මහතා එළඹෙන ඉරිදා දින නවසීලන්තයෙන් පිටත්ව යාමට නියමිතය

GalleryGalleryGallery