මෙදා සැරේ වී අස්වැන්න ගැන මත දෙකක්.ජනතාවට බඩ පිරෙන්න කන්න ලැබෙයි ද ?
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අස්වැන්න මෙවර සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අස්වැන්න අඩු වුවත් වී වල බොල් ගතිය අඩු වී බර වැඩි වී ඇති බවත්, වී වල මිල ද වැඩිවී ඇති නිසා ගොවියාට පාඩුවක් සිදුවී නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ මේ වන විට වී අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නල ප්‍රදේශයෙහි කාබනික වී වගාවක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එම යායේ ගොවීන් විසින් කර ඇති වගාවේ වෙනදාට වඩා අලුත් දෙයක් දකින බවත්, වී නිෂ්පාදනය අඩුවක් ඇති නමුත් වී වල බොල් ගතිය අඩු වී බර වැඩි වී ඇති බවත් ඇමතිවරයා පැවසීය.
කාබනික පොහොර වගාව අමාරුවෙන් කැපවීමෙන් ළඟා කරගත යුතු ඉලක්කයක් බවත්, එයට ගොවීන් උදව් කර ඇති බවත් අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ඇමතිවරයා එසේ පැවසුවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පාංශු සරුබව සහ පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා පවසන්නේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න සියයට 50කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු විය හැකි බවයි.
වර්තමානයේ දී මෙරට කෘෂිකර්මාන්තයේ තත්වය ඉතාම කනගාටුදායක බව දී මහාචාර්යවරයා කීවේය.
අනුරාධපුර සහ මින්නේරිය ප්‍රදේශවල වී වගාබිම්වලට නියම පෝෂක ප්‍රමාණය නොලැබීමෙන් ඒවා රෝගී තත්වයන්ට ලක්ව ඇති බව තමන් ක්ෂේත්‍ර පර්යේෂණවලදී නිරීක්‍ෂණය කළ බව ද හෙතෙම සඳහන් කළේය.
වී වගාවේ මෙවර රට පුරා සිදුවිය හැකි අස්වනු හානිය සියයට 50ක් පමණ ඊට වැඩි විය හැකි බවට තමන් විශ්වාස කරන බවත්, ඉදිරියේදී රට ආහාර අර්බුදයකට යා හැකි බවත් ඔහු පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසන්නේ රසායනික පොහහොර හා පලිබෝධනාශක හිඟවීමෙන් වී, බඩඉරිඟු මෙන්ම තේ අස්වැන්නේත් විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
වර්තමානයේ දී දක්නට ලැබෙන්නේ දුරදිග නොබලා විද්‍යාත්මක පසුබිමකින් තොරව ගත් තීරණයක අවාසනාවන්ත ප්‍රතිඵල යැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |