පැන යාමට සූදානම් කළ බෑගයත් මාරු වෙලා - මුහුණු පොතෙන් හමුවූ පෙම්වතා සමඟ පැන යාමට ගිය දැරියට වූ ඇබැද්දිය !
ගම්පොළ නිල්ලඹ කාර්යාල හන්දිය ප්‍රදේශයේ දී අතුරුදන්වූ බවට ලද පැමිණිලි අනුව පොලිස් නිල සුනඛයන් ද යොදා සොයන ලද 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ෆේස්බුක් පෙම්වතෙක් සොයා ගොස් සිටියදී භාරකරුවන් විසින් දින 2 කට පසු ගලහ පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.
සිය නැන්දාගේ (පියාගේ සොයුරිය) නිවසේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිටියදී ඇය අතුරුදන් වූ බවට ගලහා පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණ.
දැරියගේ අධ්‍යාපන කටයුතු සඳහා රැගෙන දුන් ජංගම දුරකථනය වෙත වැරදීමකින් පැමිණි ඇමතුමක් අනුව පෙම්වතියක් වී ඇති මෙම දැරිය දිගින් දිගටම එම පෙම්වතා සමඟ කතාබස් කර ඇත.
එම පෙම්වතා බගවන්තලාව ප්‍රදේශයේ අයකු බව පවසා ඇත. ඔහුගේ ඡායාරූපයද දැරියගේ දුරකථනයට එවා ඇත.
පසුගිය 7 දා නිවැසියන්ට හොර රහසේ මෙම දැරිය සවස පහට පමණ රෙදි බෑගයද රැගෙන ප්‍රධාන මාර්ගයට පැමිණ පසුව ත්‍රිරෝදයකින් ගම්පොළට පැමිණ තිබේ.
ත්‍රිරෝදයේ සිටි රියදුරුගෙන් රුපියල් සීයක් ඉල්ලාගෙන ඇති දැරිය හැටන් බලා ගොස් එහි බැස එතැනින් බගවන්තලාව බස් රථයකින් බගවන්තලාව නගරයට පැමිණ ඇත.
රාත්‍රී 11. 30 ට පමණ පෙම්වතා යැයි කිවූ අයට ඇය පැමිණ ඇති බව දුරකථනයෙන් පැවසීම නිසා එම පෙම්වතා ඔහුගේ ආච්චී හා නැගණිය සමග එහි පැමිණ තිබේ. නමුත් දුරකතනයට එවූ ඡායාරූපයේ ඉන්නේ ඔහු නොවන බව ඇය හඳුනා ගැනීම නිසා ඒ පිළිබඳව විමසීමේදී එම තරුණයා පවසා ඇත්තේ ඡායාරූපයේ සිටින කෙනා මීගමුව ප්‍රදේශයේ සිටින බවයි.
මේ නිසා ඇගේ බලාපොරොත්තු සුන් වී තිබේ. නමුත් එහි පැමිණි ආච්චි විසින් මෙම දැරිය රැගෙන ගොස් එදින රාත්‍රී ඇගේ නිවසේ නවාතැන් දී පසුදා දැරියට රුපියල් 400 ක මුදලක් ලබාදී මීගමුවට යන ලෙස පවසා ඇත.
දැරිය පසුදා කොළඹ බස් රථයකට නැග කොළඹට විත් පසුව යළි මීගමුව බලා ගොස් තිබේ. සවස හයට පමණ මීගමුවට මෙම දැරිය යන අවස්ථාවේ බගවන්තලාව මිතුරා කළ දැනුම්දීමකට හා දැරියගේ දුරකථන ඇමතුමකට අනුව ඡායාරූපයේ සිටි කෙනා බස් නැවතුමට පැමිණ තිබේ.
නමුත් එම පුද්ගලයා දැරියට පවසා ඇත්තේ තමන් කාටවත් ඡායාරූප යවා නොමැති බවයි.
පසුව දැරිය විසින් ඇගේ මවට කතා කර යළි මීගමුවේ සිට එදින රාත්‍රියේම මහනුවරට පැමිණ තිබේ.
පසුදා අලූයම 1.30 ට පමණ දැරිය නුවර බස් නැවතුම්පළට පැමිණෙන විට ඇගේ මව හා අනෙකුත් ඥාතීන් එහි පැමිණ සිටි අතර දැරිය පසුදා ගලහා පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.
පොලිසිය විසින් දැරියගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.
දැරිය අතුරුදන් වූ බවට ලද පැමිණිල්ල අනුව ගලහා පොලිසිය විසින් නිල සුනඛයන් ද ගෙන්වා පරීක්ෂණ සිදුකර තිබුණි.
එසේම ගම්වාසීන් හා ඥාතීන් එක්ව මෙම දැරිය සොයා ගම්මාන කිහිපයක හා අවට ගල් ගුහා කැලෑබද ප්‍රදේශ මෙන්ම බෝක්කු හා පාළු නිවාසවල පවා ඇය සොයා තිබේ.
මෙම දැරිය ආදරවන්තයා සොයා යෑමට කලින්ම සැලසුම් කර තිබී ඇති අතර ඒ අනුව ඇඳුම් බෑගය පවා සූදානම් කර තිබී ඇත.
නමුත් ඇය රහසින් පලා යන අවස්ථාවේ සූදානම් කර තිබූ ඇඳුම් බෑගය මාරු වී ගෙදර තිබූ වෙනත් බෑගයක් රැගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත. ඒ අනුව එම වැරැදි බෑගයේ තිබී ඇත්තේ නැන්දාගේ රෙදි හා සාරි කිහිපයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |