ගුරුවරයෙක් වෙන්න මඟ බලපු අය වෙනුවෙන් - ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වන පියවර මෙන්න
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්ය උපාලි පන්නිලක මහතා ප්රකාශ කළේ, ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රයේ විවිධ ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට අමතරව, ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වන පියවර ද වේගවත් කර ඇති බවයි.
කිලිනොච්චි මහා විද්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය. රටේ අධ්යාපන ක්ෂේත්රය තුළ මූලික හා අත්යවශ්ය වෙනස්කම් සිදු කළ යුතු බවට සියලු දෙනා එකඟ වන බව අමාත්යවරයා පැවසීය.
දැනට පවතින ගුරු පුරප්පාඩු 23,000 පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ සහ විමසීම් සිදු කෙරෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.
පාසල් වෙත 'ස්මාර්ට් බෝඩ්' (Smart boards) සහ නවීන තාක්ෂණික පහසුකම් ලබා දීමටත්, ඒ හරහා සිසුන්ගේ අධ්යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් සැලසුම් කර ඇත. අතීතයේ පැවති ආරක්ෂාවට අදාළ ගැටලු විසඳා ගැනීම සඳහා ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයා සහ ජ්යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ද අමාත්යවරයා පෙන්වා දුන්නේය.